Home » ජාතික පුනරුත්ථාපන අධිකාරියට ජාත්‍යන්තර පිළිගැනීමක් අත්ව තිබෙනවා

ජාතික පුනරුත්ථාපන අධිකාරියට ජාත්‍යන්තර පිළිගැනීමක් අත්ව තිබෙනවා

-ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

by sachintha
July 23, 2024 1:54 am 0 comment

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මකවූ ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිකරණ ආයතනය මඟින් ලබා දෙන ISO 9001 ප්‍රමිතිකරණ සහතිකය හිමිකර ගැනීමට ජාතික පුනරුත්ථාපන අධිකාරියට හැකි වුණ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

ජාතික පුනරුත්ථාපන අධිකාරියෙහි ගුණාත්මකභාවය ඇගැයීම සඳහා හිමි වූ ISO 9001 සම්මානය හිමිවීම සම්බන්ධයෙන් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණු අවස්ථාවේදී ඇමැතිවරයා මේ බැව් අවධාරණය කළේය.

ජාතික පුනරුත්ථාපන අධිකාරිය වෙනුවෙන් පිරිනමන ලද ISO 9001 ප්‍රමිතිකරණ සහතිකය ඇමැතිවරයා වෙත පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවැසීය.

මෙම ප්‍රමිතිකරණයන් මුදල්වලට හෝ දේශපාලන හිතවත්කම්වලට ලබාගත නොහැකිය.

මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය පශ්චාත් යුද සමය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වුණා. යුද සමයේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වල නිරතවූ සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දැක්වූ පුද්ගලයන් එයින් මුදාගෙන සමාජයට ගැළපෙන ලෙස පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ වුණා. 2013 පමණ කාලය වන විට එම කාර්ය අවසන් කළා. ඉන් පසුව රටට විශාල පසුගාමී බලපෑමක් කළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඇතුළු විවිධ වැරදි සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලිය ක්‍රියාත්මක වූ අතර 2023 අංක 01 දරන පනත මඟින් විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පමණක් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ පනත සම්මත කෙරුණා. විශාල වශයෙන් විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා තරුණ ප්‍රජාව ඇබ්බැහි වීම දක්නට ලැබුණා. තරුණ ප්‍රජාව යහමාර්ගයට ගැනීම සඳහා ජාතික පුනරුත්ථාපන අධිකාරිය සුවිසල් මෙහෙයක් ඉටු කරනු ලැබුවා.

බොහෝ විට අඩු අදායම්ලාභී පවුල්වල තරුණ කොටස් විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහිවීම දිගින් දිගටම දක්නට ලැබුණු කාරණයක්. ඔවුන් පුනරුත්ථාපනය කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් හට තමන්ගේ ව්‍යාපාර කටයුතු කිරීමට නොහැකි වූ නිසා විවිධ කඩාකප්පල් ක්‍රියාවල නිරත වුණා.එහෙත් පුනරුත්ථාපන ක්‍රියාවලිය ඉතා සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට හැකි වුණා.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ, රටේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරීත්වය නිසා මහජනතාව දේශපාලනඥයා කෙරෙහි සැකයෙන් යුතුව බලන්න පුරුදු වී සිටිනවා.

එහෙම බලන එකත් සාධාරණයි මොකද එහෙම බලන එකෙන් දේශපාලනඥයාගේ වැරදි වුණත් හොඳට පේනවා. මම ඇමැති මණ්ඩලයට යෝජනා කරල ති‍ෙයනවා ලෝකයේ බොහෝ රටවල්වල ක්‍රියාත්මක වන සෙනට් මණ්ඩල ක්‍රමය. එත කොට පාර්ලිමේන්තුවට උඩින් තවත් ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. සෙනට් මණ්ඩලය සඳහා තෝරාපත් කර ගන්නේ උගත් බුද්ධිමතුන්ගෙන් යුත් පිරිසක්. පාර්ලිමේන්තුවට නොපෙනෙන දුරක් එම සෙනට් මණ්ඩලයට දකින්න පුළුවන්. එහිදී ජනතාවට අවශ්‍ය නිවැරදි පිරිසිදු තීන්දු තීරණ ගන්නට හැකිවේවි කියා බලාපොරොත්තු විය හැකියි.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාද මෙහිදී අදහස් පළ කළේය. ජාතික පුනරුත්ථාපන අධිකාරියේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් සිටියහ.

අමායා රන්දුනු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT