දහම් පාසල් යෑමෙන් අනතුරුව නිවසට පැමිණි අලව්ව වැරැල්ලගම ප්‍රදේශයේ පිරිමි දරුවකු ඊයේ 21 සවස 1.30ට පමණ අත්තම්මාගේ නිවසට යන බව පවසා පිටත්ව ගියත් ඉන්පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නැතිවීම හේතුවෙන් දරුවාගේ මාපියන් කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ බව අලව්ව පොලිසිය කියයි .
දරුවා සොයා ප්‍රදේශයේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය ඒ පිළිබඳ පොලිස් හදිසි ඇමැතුම් ඒකකය හරහා සහ සමාජ මාධ්‍ය ඔස්සේ කළ දැනුවත් කිරීමට අනුව නාවලපිටිය පොලිසිය මඟින් අතුරුදහන් දරුවා නාවලපිටිය පොලිසිය මඟින් සොයාගත් බවට දැනුවත් කර තිබේ.
පැය 24ක් ගතවීමටත් පෙර දරුවා පිළිබඳ තොරතුරු පොලිසිය මඟින් දරුවාගේ මාපියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් රාත්‍රියේම නාවලපිටිය පොලිසියට ගොස් දරුවා භාර ගෙන ඇත. දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී බදුල්ල ප්‍රදේශයේ සංචාරය කිරීමට ඇති ආශාව හේතුවෙන් දහම් පාසල් යෑමෙන් පසු නැවත නිවසට පැමිණ අත්තම්මාගේ නිවසට යන බව පවසා පිටත්ව අලව්ව දුම්රිය ස්ථානය දක්වා පැමිණ එහි සිට පොල්ගහවෙල දුම්රිය ස්ථානය දක්වා පැමිණ පොල්ගහවෙල සිට යන දුම්රියෙන් බදුල්ල බලා පිටත්ව ගිය බවයි.
දරුවා සොයා ගැනීමට පැය 24 ක් ගතවීමටත් පෙර හැකිවීම පිළිබඳ අලව්ව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර දෙකදුවල මහතා හා නිලධාරීන් සහ නාවලපිටිය පොලීස් ස්ථානාධිපතිවරයා හා නිලධාරීන් සමාජ මාධ්‍ය හරහා දැනුවත් කළ සැමට තුති පුදති.
අලව්ව – ජයන්ත දිසානායක