ජනතා මුදල් භාවිත කරමින් විශ්වවිද්‍යාලවලට අවුරුදු හතරක උපාධියක් හැදෑරීමට ඇතුළු වුවත් හැමදාම ඉන්න ආපු පිරිස ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වන බවත්, බුද්ධිමතුන්, රාජ්‍ය නායකයන්, හමුදා නිලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාව ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව මේ රටේ බුද්ධිමත් ජනතාවට කිසිසේත්ම අමතක නොවන බවත් එජාප කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
“තමන් කුඩා කාලයේ සිට හිටපු ගෙදර ගිනිබත් වුණාටත් පස්සේ තමයි රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ රටට භාර ගත්තේ. ඔබට ඒ දේ වුණා නම් ඔබේ මානසිකත්වය ඔබ පාලනය කර ගන්නේ කෙසේද කියන ප්‍රශ්නය ඔබට තිබෙනවා. නමුත් ඒ වගකීම භාරගන්න කිසිවෙක් නෑ කියලා දුටුව ඒ මහතා ඒ අභියෝගාත්මක කාර්යභාරයට උරදී මේ රටේ තරුණයන්ගේ අනාගතය සුවපත් කිරීමට අද වෙනකොට මේ රටේ ස්ථාවරත්වයට ගෙනත් තිබෙනවා. ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන වැනි නායකයන් මේ රට පාලනය කර තිබෙනවා. මේ සියලු දෙනා තමන්ගේ සම්පත් රට වෙනුවෙන් පරිත්‍යාග කළා මිසක් කිසි දවසක රටේ දේවල් ඔවුන්ගේ පරිහරණයට ගත්තේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතා එම අඩි පාරේම පැමිණි කෙනෙක් කියන එක සඳහන් කළ යුතුයි. ඒ වගේම දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව රට ගැන පමණක් කල්පනා කරජනාධිපතිවරයා වැඩ කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාස අද දරුවන් දේශපාලන වැඩ කටයුතුවලට යොදා ගන්නවා.
ඔහු පරිත්‍යාග කරන බස් රථවලට මුදල් දෙන්නේ කවුද? තවමත් නිවැරදි උත්තරයක් දී නෑ. එයාට බස් දෙන මිනිස්සු එයාගේ ආණ්ඩුවක් පැමිණි විගස ප්‍රතිලාභ බලාපොරොත්තු වන්නේ නැද්ද? දේශපාලනය කියන්නේ තීන්දු අරගෙන රට ගැන හිතලා වැඩ කරන්නට අවශ්‍ය දෙයක් කියන එක මතක් කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න පිරිස තමයි බොහෝ විට දේශපාලනයේ ඉන්න කුහක පිරිස කියන එක සඳහන් කළ යුතුයි. තමන්ගේ තියෙන කුහකකම නිසා අනෙක් ළමයි ඉගෙන ගන්නවාට කැමති නෑ. නිතරම උද්ඝෝෂණ ඇති කර විශ්වවිද්‍යාල වහලා නවක වදය දීලා ඔවුන් පීඩාවට පත් කර ඉතාම වැරදි ආකාරයේ මානසික තත්ත්වයන් ඇති කරනවා අපි දකිනවා. නූගත් ජනතාවක් මේ රට තුළ බිහිවුණොත් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කරගන්න හැකියාව තිබෙනවා. බුද්ධිමතුන්, රාජ්‍ය නායකයන්, හමුදා නිලධාරීන්, සාමාන්‍ය ජනතාව ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව මේ රටේ බුද්ධිමත් ජනතාවට කිසිසේත් අමතක වන්නේ නෑ.රටේ සම්පත් විනාශ කළ ඒ වටිනාකම් නැවත ගෙවන්නේ කවුද?
ඒ වගේ මොවුන් කියනවා ඒ විනාශය ඔවුන් කළේ බොහොම සතුටින් කියලා. අවුරුදු හතරක උපාධියක් කරන්න ඇවිත් විශ්වවිද්‍යාලයේ ජනතා මුදල් පාවිච්චි කර හැමදාම ඉන්න ආපු අය තමයි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වෙන්නේ. අලුතින් අද එන ළමයින්ට ඉගෙන ගන්න තියෙන අවස්ථා ද අහිමි කරමින් නවක වදය දෙමින් ඔවුන් තමන්ගේ දේශපාලන මතවාදවලට හරවා ගැනීමට උත්සාහ කරනවා.
කරන්දෙණිය ආසනය නියෝජනය කරමින් නීතිඥ නුවන් සොමිරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
නෙත්මි පූජනී රත්නායක සහ ආරියරත්න ගනේගොඩ – මැදකොළඹ සමූහ