Home » ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට එන්න හැදූ කතකුත් බෝට්ටුකරුවන් දෙදෙනකුත් මාට්ටු

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට එන්න හැදූ කතකුත් බෝට්ටුකරුවන් දෙදෙනකුත් මාට්ටු

by sachintha
July 23, 2024 2:11 am 0 comment

ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස පලා ඒමට තැත් කරමින් සිටි මුලතිව් ප්‍රදේශයේ කාන්තාවක් රාමේශ්වරන් වෙරළ පොලිසිය විසින් බෝට්ටුකරුවන් දෙදෙනා සමඟ 21දා අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාව සවස් කාලයේ තනිවම වෙරළේ සැකකටයුතු ලෙස එහා මෙහා යමින් සිටියදී පොලිස් නිලධාරීන් පිරිසක් ඇයගෙන් ප්‍රශ්න කොට තිබේ.

එහිදී ඇය කතා කරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ නිසා ඇයව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට තිබේ.

එහිදී ඇය ප්‍රකාශ කොට ඇත්තේ රාත්‍රී හතට පමණ ඇයව මුලතිව් දක්වා රැගෙන යාමට බෝට්ටුවක් පැමිණෙන නිසා තමන් වෙරළේ රැඳී සිටි බවයි.

මේ ගමන සඳහා ඇය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 50,000ක් පුද්ගලයෙකුට ලබා දුන් බවත් ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මුහුදු වෙරළේ රැක සිට බෝට්ටුව පැමිණි පසුව බෝට්ටුකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් කාන්තාවගෙන් මෙම ගමන සඳහා මුදල් ලබාගත් මිනිස් ජාවාරම්කරුවා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටියි.

අත්අඩංගුවට පත් කාන්තාව මුලතිව් පාණ්ඩියන් පොකුණ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය 2013 වසරේදී ඉන්දියාවට ගොස් ඇත්තේ මාස හයක වීසා බලපත්‍රයක් මත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පිණිසය.

පසුව ඇය ඉන්දීය වීසා නොමැතිව නිවසක රැඳී සිටිමින් ඇඳුම් මසා ජීවත් වී ඇති අතර ඇය රැඳී සිට ඇත්තේද මුලතිව් පළාතෙන් ඉන්දියාවට පලා ගිය පවුලකට අයත් නිවසක බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඒ ඔස්සේ තවදුරටත් කාන්තාව සම්බන්ධයෙන් හා නවාතැන් දුන් පිරිස සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT