Home » ආනයන සීමා තිබියදීත් විදෙස් ටින් මාළු වෙළෙඳපොළේ

ආනයන සීමා තිබියදීත් විදෙස් ටින් මාළු වෙළෙඳපොළේ

-දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයෙන් චෝදනා

by sachintha
July 25, 2024 1:19 am 0 comment

ඩොලර්රටින් බැහැරවීම වැළකීම මෙන්ම දේශීය කර්මාන්ත සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙරටට ටින් මාළු ගෙන්වීම තහනම් කර තිබියදී මේ වසරේ පළමු කාර්තුවේදී පමණක් මාළු ටින් ලක්ෂ 45කට වැඩි ප්‍රමාණක් ආනයනය කර ඇතැයි ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු පවසයි.ඒ සඳහා වැයකොට ඇති මුදල ඩොලර් මිලියන පනහක් පමණ වන බවද ඒ මහතා අනාවරණය කරයි.

පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ දේශීය නිෂ්පාදිත මාළු ටින් සඳහා වැට් බද්ද අයවීම හේතුවෙන් ආනයනික මාළු ටින් සහ දේශීය නිෂ්පාදන අතර සැලකිය යුතු මිල වෙනසක් ඇතිවී ඇති බවයි. මේ හේතුවෙන් දේශීය ටින් මාළු අලෙවිය පහතවැටී තිබේ.

ට්න් මාළු රටින් ගෙන්වීම තහනම් කර තිබියදී මෙතරම් විශාල ප්‍රමාණයක් රේගුව හරහා මෙරටට පැමිණියේ කෙසේදැයි පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවද ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

ටින්මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් කපිල බාලසූරිය පවසන්නේ මෙරට ලියාපදිංචි ටින් මාළු නිෂ්පාදන සමාගම් 16 වෙතින් රටට අවැසි දෛනික ටින් ලක්ෂ තුනක ප්‍රමාණය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි.”කොවිඩ් කාලේ රටට අවශ්‍ය ටින් මාළු සියල්ලම ලබා දුන්නේ අපගේ සමාගම් වෙතින්. වැට් බද්දත ඉහළ යාමත් සමඟ දේශීය ටින් මාළු මිල ඉහළ යාමේ වාසිය ආනයනකරුවන් කීපදෙනෙකුට අත්වී ඇති පසුබිම නිසා මේ වන විට ටින් මාළු කර්මාන්තය පමණක් නොවෙයි ඒ වඩා ජීවත්වන ලක්ෂ 10කට ආසන්න පිරිසකගේ ජීවිකාව අහිමිවෙමින් පවතිනවා.

මේ කර්මාන්තයේ පළමුවෙන් යැපෙන පිරිස ධීවර ජනතාව.මධ්‍යම පරිමානයේ බෝට්ටුවලින් මසුන් මැරීම පිණිස දියඹට යන ධීවර ජනතාව නෙළාගන්නා ලින්නා මාළු සඳහා මිලක් ලැබෙන්නේ ටින්මාළු කර්මාන්තය සඳහා ඒ මාළුවලින් වැඩි කොටසක් මිල දී ගැනීම නිසයි.ටින් මාළු කර්මාන්තශාලා සඳහා ලින්නා මාළු මිලදී ගැනීම සීමාවීම නිසා ලින්නා මාළු පමණක් නොවෙයි වෙළෙඳපොළේ අනෙකුත් මාළු සඳහාත් හිමිවෙන්නේ අඩු මිලක් තෙල් මිල නිසා වියදම් ඉහළ ගොස් ඇති ධීවර කර්මාන්තයට ඉල්ලුම අහිමි වීමත් මරු පහරක්.

මෙපමණක් නොවේ ටින් මාළු නිෂ්පාදනයට අවශ්‍ය ටින් ,ලේබල්,ලුණු,ඇසුරුම් සඳහා අවශ්‍ය කාඩාබෝඩ් පෙට්ටි, ප්‍රවාහනය මේ සියල්ල සපයන්නේ දේශීය ව්‍යවසායයන් කර්මාන්තය බිඳ වැටීම හේතුවෙන් මේ සැලසුම්ධාමයම අවදානමකට ලක් වෙලා.

මෙරට ක්‍රියාත්මකවූ ටින් මාළු කර්මාන්ත ශාලා 16 අතරින් අතරින් දැනට නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරනුයේ සමාගම් කීපයක් බවයි.සමාගම් අතරින් කීපයක් වසාදමා අවසානයි.මේ අනුව වැඩි දිනක් යන්නට මත්තෙන් මෙරට ටින් මාළු කර්මාන්තයේ මළගම සනිටුහන් වනු ඇතැයිද කපිල බාලසූරිය අවධාරණය කරයි.

සංගමය අවධාරණය කරන්නේ මෙරට ධීවර කර්මාන්තය හා බද්ධ වී ඇති ටින් මාළු කර්මාන්තය සුරක්ෂාව වෙනුවෙන් රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි.

ටින් මාළු කර්මාන්තය මෙරට ආරම්භ කර ගෙවී ඇත්තේ වසර 12ක පමණ කාලයකි.ජපානය හා යුරෝපා සංගමය වෙත ටූනා මාළු ආනයනය කළ කර්මාන්තකරුවෝ GSP ප්ලස් සහනය නවතා දැමීමෙන් අනතුරුව තම කර්මාන්ත ශාලා ටින් මාළු නිෂ්පාදන සමාගම් බවට පරිවර්තනය කර ඇත්තේ ඩොලර් මිලියනයක පමණ ආයෝජනයක් කරමිනි. එවැනි සමාගම් 14ක් පමණ මෙරට ටින් මාළු අවශ්‍යතාවෙන් 100% සැපයීමට හැකි මට්ටමට දියුණු වී පැවතිණි.

මෙරට ජනතාවගේ පෝෂණ සහ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් ටින් මාළු සහන මිලට ලබා දීම සඳහා තම සංගමය කැපවෙන බවත් කපිල බාලසූරිය වැඩිදුරටත් අවධාරණය කරයි.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT