Home » මෙරට ගුවන් සේවා කර්මාන්තය ගැන දැනුම්වත් කිරීමට ‘ගුවන් සිහිනය’ නමින් වැඩසටහනක්

මෙරට ගුවන් සේවා කර්මාන්තය ගැන දැනුම්වත් කිරීමට ‘ගුවන් සිහිනය’ නමින් වැඩසටහනක්

by sachintha
July 25, 2024 1:17 am 0 comment

මෙරට ගුවන් සේවා කර්මාන්තය සඳහා පිවිසීමට බලාපොරොත්තු වන සිසුන් දැනුම්වත් කිරීමටත්, එම ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අවම සුදුසුකම් සහ ප්‍රතිලාභ පිළිබඳ දැනුම්වත් කිරීමටත් ‘ගුවන් සිහිනය’ නමින් වැඩසටහනක් කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරී ශ්‍රවණාගාරයේ දී පෙරේදා (23) පැවැත්වීය.

මේ වැඩසටහන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ජාතික රූපවාහිනී සංස්ථාව, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා කේටරින් ආයතනය සහ ශ්‍රී ලන්කන් ගුවන් පුහුණු පාසල එක්ව සංවිධාන කරන මාසික වැඩසටහනකි.

මේ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම පළාත් කිහිපයක අතළොස්සක් දෙනාට සීමාවී ඇති අතර, මේ ක්ෂේත්‍රයේ විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් ද මේ වන විටත් පුරප්පාඩුවී තිබේ.

එනිසා මේ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුම් සම්භාරයක් විශේෂයෙන්ම දුරබැහැර ප්‍රදේශවල ජීවත් වන සිසුන්ට ඉතා පහසුවෙන් දීමට මේ වැඩසටහන සංවිධාන කර තිබේ.

මේ වැඩසටහනට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් දෙන පූර්ව ප්‍රචාරක දැන්වීම් සඳහා කෙටි පණිවිඩ දීමෙන් සහ දැනට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් පිහිටුවා ඇති පාසල් ගුවන් සේවා සමාජ ඔස්සේ සිසුන් සම්බන්ධ කර ගැනීම සිදු කෙරේ.

දැනට මෙවැනි සිසුන් දැනුම්වත් කිරීමේ ‘ගුවන් සිහිනය’ වැඩසටහන් 53ක් පමණ පවත්වා ඇති අතර, ඒ සඳහා විවිධ ප්‍රදේශවල පිහිටි පාසල් නියෝජනය කරමින් වරකට සිසුන් 150 දෙනකු බැගින් සහභාගී වී තිබේ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්. විතානගේ, එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රවර්ධන නිලධාරී ප්‍රභාත් කුලරත්න මහත්වරුන් ඇතුළු පාසල්වල ගුරුවරු ද සහභාගීවී සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT