Home » ශ්‍රී ලාංකික සාත්තු සේවකයන්ගේ කුසලතා ඇගයීම ඊශ්‍රායලයේදීම පැවැත්වීමට පියවර

ශ්‍රී ලාංකික සාත්තු සේවකයන්ගේ කුසලතා ඇගයීම ඊශ්‍රායලයේදීම පැවැත්වීමට පියවර

by sachintha
July 25, 2024 1:18 am 0 comment

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික සාත්තු සේවකයන්ගේ කුසලතා ඇගයීමට ලක් කෙරෙන NVQ 3 සහ 4 මට්ටමේ පරීක්ෂණය මුල් වරට ඊශ්‍රායලයේදී ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ පරීක්ෂණය පෙරේදා (23) ආරම්භ කර තිබෙන අතර, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජාතික ආධුනිකත්ව සහ තාක්ෂණික පුහුණු අධිකාරිය (NAITA) සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ එක්ව NVQ 3 සහ 4 මට්ටම් සඳහා ලිඛිත හා යෝග්‍යතා පරීක්ෂණය උතුරු ඊශ්‍රායලය ප්‍රදේශයේ අගනුවර වන හයිෆාහිදී ආරම්භ කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ‘දිනමිණ’ට පැවැසීය.

මේ ඇගයීම සඳහා NAITA සහ TVEC හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් 10 දෙනකු මෙරටින් ඊශ්‍රායලයට ගොස් තිබෙන අතර, පෙරේදා (23) සිට අගෝස්තු මස 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ඇගයීම් සහ ලිඛිත පරීක්ෂණය සඳහා ශ්‍රී ලාංකික සාත්තු සේවක සේවිකාවන් 306 දෙනකු ලියාපදිංචි වී තිබේ.

NAITA, TVEC සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සත්කාරක අංශයේ කුසලතා පරීක්ෂා කිරීමට පවත්වන පළමු නියමු ව්‍යාපෘතිය ද මෙය වේ.

ඊශ්‍රායලයේ දී පවත්වන පළමු ව්‍යාපෘතියෙන් පසුව තවත් බොහෝ රටවල් හෝටල් සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර සඳහා NVQ මට්ටමේ සහතික පරීක්ෂාව සහ විභාගය පවත්වන ලෙස ඉල්ලා සිටින බව NAITA ආයතනයේ සභාපති රුචික අමරසේකර මහතා පවසයි.

මේ වැඩසටහන සඳහා පැමිණෙන NAITA සහ TVEC නියෝජිතයන්ගේ ගුවන් ටිකට්පත්, නවාතැන්, දෛනික දීමනා, ප්‍රවාහන පහසුකම් ඇතුළු අවශ්‍ය සියලු ප්‍රතිපාදන අයැදුම්කරුවන් විසින් සපයන ලද අතර, ඒ සඳහා රුපියල් මිලියන 8කට ආසන්න මුදලක් වැය කර ඇත.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා, තානාපති කාර්යාලයේ නිලධාරින්, NAITA සහ TVEC ආයතනවල නිලධාරින් ඇතුළු හයිෆා නගරයේ ශ්‍රී ලාංකිකයෝ මේ අවස්ථාවට එක් වූහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT