බස්නාහිර පළාතේ ජයවර්ධනපුර අධ්‍යාපන කොට්ඨාසයේ වසර 104ක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇති වර්ෂ 1904දී ආරම්භ කරන ලද තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලයට නව විදුහල්පතිනියක ලබා දීමට බස්නාහිර අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබේ. වසර 14ක කීර්තිමත් සේවා කාලයක් අවසන් කළ ජේ. ඒ. ඒ. ජයකොඩි මහත්මිය 2023 සැප්තැම්බර් මස 27 වැනි දින විශ්‍රාම ගිය පසු ස්ථිර විදුහල්පතිවරයෙක් පත් කර ගැනීමට පාසල් ප්‍රජාව ගත් උත්සාහය අපමණය. ඒ වෙනුවෙන් දිනමිණ පුවත්පතේ ‘ජනතා මණ්ඩපය’ ඇතුළු මාධ්‍යයෙන් ලැබුණු සහාය ද සිහිපත් කළ යුතුය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් බප/ජය/දෙපානම ධර්මපාල විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය වන ජන රංජන, ශිල්ප ශාස්ත්‍රී, විද්‍යා විභූෂණ, විශ්ව කීර්ති, දිරිය මාතා එන්. ඒ. ඩිලානි රුක්මල් කුමාරසිංහ මහත්මිය පසුගිය 16 වැනි දින සුබ මොහොතින් බප/ ජය/ අග්‍රාමාත්‍ය විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස වැඩ භාර ගන්නා ලදි. ඇය දෙපානම ධර්මපාල විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කර වැසී යෑමට තිබූ පාසලක් සංවර්ධනය කරා ගෙන යෑමට අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කළ දිරිය මාතාවකි.
එමෙන්ම පාසලේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීමෙහිලා ව්‍යාපෘති රැසක් සිදු කළ ඇය ‘ගමේ පාසල හොඳම පාසල’ යන සංකල්පයට නව අරුතක් එක් කිරීමට සමත්ව ඇත. එම පාසල් ප්‍රජාවගේ ද ගෞරවයට පාත්‍ර වූ ඇය නව තනතුරේ වැඩ භාර ගැනීමේ උත්සවයට කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති උදුගොඩ සිද්ධත්ත හිමි ද වැඩම කළ අතර, එහිදී උන්වහන්සේ අනුශාසනාවක් කරමින් පැවැසුවේ නව විදුහල්පතිනියගේ මේ පත්වීම පාසල් ප්‍රජාව මෙන්ම විදුහල්පතිවරුන් ලද ජයග්‍රහණයක් බවයි. තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ජේ. ඒ. ඒ. ජයකොඩි මහත්මිය, ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල්වල ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. එමෙන්ම පාසල් සංවර්ධන සමිතිය නියෝජනය කරමින් එහි ලේකම් දුෂ්මන්ත ප්‍රභාත් වල්ලහගොඩ මහතා ඇතුළු විධායක සභාවේ නිලධාරීන් ද ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි සංවිධායක නලින් කුලතුංග මහතා ඇතුළු පිරිසක් ද, නිරෝෂ් දෙල්පචිත්‍ර (අග්‍රාමත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්) සුනිල් කොඩිතුවක්කු (මහරගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී) මහත්වරු ද, අග්‍රාමාත්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, සිසු දරුවෝ ද මේ අවස්ථාවට සහභාගී වූහ.