Sunday, May 11, 2025
Home » පිටකෝට්ටේ සෙවණ ළමා නිවාසයේ දරුවන්ගේ මනස දියුණු කිරීමේ වැඩසටහනක්

පිටකෝට්ටේ සෙවණ ළමා නිවාසයේ දරුවන්ගේ මනස දියුණු කිරීමේ වැඩසටහනක්

by sachintha
July 25, 2024 3:37 am 0 comment

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශයේ මූලිකත්වයෙන්, විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා වූ සෙවණ ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් පවත්වන ලද ‘මෙත් ගුණ පිරුණු – සිත් ඇති ළමා වියක්’ යන තේමාව යටතේ සංවිධානය කළ කාලීන වැඩසටහනක්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පැඟිරියවත්ත විවේකාරාමයේ විහාරාධිපති පූජ්‍ය ඌරුගමුවේ ධම්මදස්සි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සෙවණ ළමා නිවාසයේදී පැවැත්වුණි.

රටේ අනාගත පරපුර මානුෂික ගුණධර්මයන්ගෙන් හෙබි සහජීවනය සපිරි ධාර්මිෂ්ඨ ප්‍රජාවක් බවට පත්කිරීම, අධ්‍යාපන මෙන්ම බාහිර කර්තව්‍යයන් සඵලදායී හා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා ඵලදායිතා සංකල්ප ප්‍රායෝගිකව යොදා ගැනීමට ළමුන් හුරුකරවීම, වර්තමාන තාක්ෂණික මෙවලම් ඔස්සේ ව්‍යාකූලත්වයට පත් ළමා මනස අර්ථවත්ව, හරවත් සුභාවිත ගීත ආදී වූ කලා කෘතීන් කෙරෙහි යොමු කිරීම, ඒවා රස විඳීමට හුරු කරවීම හා ඒ තුළින් ළමා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහනට කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න, සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එම්.විරාජි, සහකාර අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන වසුන්දරා කහඳව යන මහත්ම මහත්මීන් මඟපෙන්වීම ලබාදී ඇත.

සෙවණ ළමා නිවාසයේ පරිපාලන නිලධාරි ශ්‍රියාණි එස්. ගමගේ මහත්මියගේ මූලිකත්වයෙන් හා ළමා නිවාසයේ කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් පැවැති මෙම වැඩසටහනේදී, නිවාසගත විශේෂ අවශ්‍යතා සහිත දරුවන් විසින් ඔවුන්ගේ ප්‍රාසාංගික කුසලතා එළිදක්වමින් සෞන්දර්ය විශේෂාංග කිහිපයක් ඉදිරිපත් කළ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එම අවස්ථාවට සහභාගිවූ නිලධාරීන් විසින් ගීතමය හා සංස්කෘතික වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කරමින් දරුවන් සතුටට පත් කිරීම සිදුකෙරිණි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි මල්කා කරවිට, ඵලදායීතා සංවර්ධන නිලධාරි ඩී.එස්.පී. තරංග, උපදේශ නිලධාරිනී මදුවන්ති ගමගේ යන මහත්ම මහත්මීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සම්පත් දායකත්වය සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරි ඉන්දු ගමගේ, සංවර්ධන නිලධාරි ධම්මිකා කල්‍යාණි, ආපදා සහන සේවා නිලධාරි ඒ. සුජීවා දමයන්ති යන මහත්ම මහත්මීන් සම්පත් දායකත්වය ලබා දී ඇත.

වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සංවර්ධන නිලධාරී ජීවිකා චතුරංගනී මහත්මිය විසින් ලබාදී ඇත.

එම අවස්ථාවට පැඟිරියවත්ත විවේකාරාමය විහාරාධිපති පූජ්‍ය ඌරුගමුවේ ධම්මදස්සි හිමියන් වැඩම කර සිටි අතර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න, සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එම්. විරාජි, සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) වසුන්දරා කහඳව යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු ද සෙවණ ළමා නිවාසයේ නිලධාරීහු, දරු දැරියෝද සහභාගි වූහ.

පාදුක්ක සමූහ

රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT