පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම අනුමත කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව ලෙස කිසිදු වැරදි ක්‍රියාවලියක් සිදු වී නැති බවත්, ව්‍යවස්ථානුකූලව නිවැරදිව සහ හෘදය සාක්ෂියට එකඟව සැම කාරණයක් කෙරෙහිම අවධානය යොමු කරමින් පොලිස්පති ධුරය සඳහා එම නම ව්‍යවස්ථාදායකය විසින් අනුමත කළ බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථාදායක සභාව විසින් එලෙස පත් කරන ලද පුද්ගලයකු එම ධුරයෙන් ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නියමිත ක්‍රියා පටිපාටියක් ඇති බවද කථානායකවරයා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (සී) වගන්තිය මඟින්ද ඒ පිළිබඳ සඳහන් කර ඇති බවත්, එම ක්‍රියාවලියෙන් තොරව ව්‍යවස්ථා සභාවෙන් විධායකයේ නිර්දේශ මත පත් කරන ලද පුද්ගලයකු ඉවත් කිරීමට කිසිදු හැකියාවක් නැති බවත් කථානායකවරයා ප්‍රකාශ කළේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිය මතය ඉදිරිපත් කරමිනි.
පවතින තත්ත්වය යටතේ මේ මොහොත වන විට ජනාධිපතිවරයාටවත් මේ පිළිබඳ තීරණයක් ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව තමාට හැඟෙන බවද කථානායකවරයා සඳහන් කළේය. ඒ අනුව පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකුට අධිකරණයට ගොස් කරුණු විමසීමක් යළි සිදු කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
“මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගැටලු රාශියක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් නැඟූ ලොකුම චෝදනාව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් ගන්නා ලද වැරදි තීරණයක් නිසා මේ තත්ත්වය උද්ගත වූවායැයි යනුවෙන් සිදු කරන ප්‍රකාශය. කිසිම වැරදි තීරණයක් අප ගත්තේ නැහැ. ව්‍යවස්ථානුකූලව නිවැරදිව, බොහොම කල්පනා කරලා තමයි එම තීන්දුව අරන් තිබෙන්නේ. එම තීන්දුව ඔබතුමාලාට වැරදි වෙන්න පුළුවන්. තව කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. නමුත් අප හෘදය සාක්ෂියට එකඟව, නිවැරදිව මේ හැම කාරණයක් කෙරෙහිම අවධානය යොමු කරමින් සොයා බලලා තමයි මේ තීරණය ගත්තේ. ව්‍යවස්ථාව අනුව අප එම තීරණය ගත්තේ හොදට කල්පනා කරලා. ඔබතුමා එක්ක කතාවක් නැහැ. ඔබතුමා හැමදාම වැරදි දේවල් අල්ලගත්තේ.
“මම ගෙදර ඉදන් මෙම තීන්දුව ගත්තා කියලා එක් අවස්ථාවක කිව්වා. ඒකත් අසත්‍යයක්. ඡන්දය පාවිච්චි කිරීම 41ඊ අනුව මම කටයුතු කර තිබෙනවා. ඔබතුමාලා මොනවා කිවුවත් එතන කිසිම අවුලක්, ප්‍රශ්නයක් වුණේ නැහැ. අප නිවැරදිව ඒ තීන්දු අරන් තිබෙනවා. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අද තිබෙන තත්ත්වය වෙනස් එකක්. පොලිස්පතිවරයාගේ සේවය තහනම් කර තිබෙනවා. මම කියන්න කැමතියි, මෙහි 41ඊ, සී වගන්තිය යටතේත් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහ පාර්ලිමේන්තුවේ එකඟතාව මත සිදු කර තිබෙනවා. නිලධාරීන් සම්බන්ධයෙන් වෙනම හැඳින්වීමක් තිබෙනවා, 41 සී වගන්තිය යටතේ. සී වගන්තිය යටතේ ඒ උදවියගේ තනතුරු හිස් කරනවා නම් විශේෂ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළ අනුව ගිහින් තමයි එම කටයුත්ත කළ යුත්තේ. එහෙම නැත්තම් ආපහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මේ තීන්දුව ගන්න වෙනවා. මම වැරදි නම් උසාවියට ගිහින් තමුන්නාන්සේලා නිවැරදි කරගන්න.”