පසුගිය සතියේදී ලෝකයේ බොහෝදෙනාගේ කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ඩොනල්ඩ් ඩ්රම්ප්ට වෙඩිතැබීමේ සිදුවීමය. වෙඩි තැබීමේ සිදුවීමේ අලගිය මුලගිය තැන් සෙමි සෙමින් සොයාගනිමින් පවතිනවිට එය යටපත්වී අමෙරිකාවේම පුවතක් යළිත් ලෝකය පුරා කතිකාවතක් ඇති කිරීමට සමත් විය. ඒ අන් කවරක්වත් නොව, වර්තමාන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත්ව යෑමයි. ජෝ බයිඩ්න්ගේ ඉවත්වීමෙන් හිස්වූ අපේක්ෂකත්වයට ඉන් අනතුරුව නම් වූයේ උප ජනාධිපතිනිය වූ කමලා හැරිස්ය. ඇය දිගු කාලයක් පුරා ඩිමොක්රටික් අපේක්ෂකත්වයේ ඉහළටම යාමට ඉටාගෙන සිටියාය. මේ මොහොතේදී ඇය ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් ආදේශක අපේක්ෂක ලැයිස්තුවේ ඉහළටම පැමිණීමට සමත් විය.
ජෝ බයිඩ්න් තම ජනපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වූයේ ලිපියක් ද ලියා තබමිනි. බයිඩ්න් තම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන විටත් රිපබ්ලිකන් පක්ෂයේ නායකයින් විසින් ප්‍රකාශ කරමින් සිටියේ ද වහාම ජනාධිපති ධුරයෙන් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි. ඔවුන්ගේ ප්‍රකාශයන් තුළ ඔවුන් සඳහන් කර සිටියේ ජෝ බයිඩ්න්ගේ කාල සීමාව මෙතෙකින් අවසන් විය යුතු බවය.
කෙසේ වෙතත් තමා අපේක්ෂකත්වයෙන් ඉවත්වන බව සඳහන් කළ පසු ඔහු යළිත් පසුගිය බදාදා රූපවාහිනියෙන් ජනතාව ඇමතීය. එම කතාවේදී බයිඩ්න් සඳහන් කර සිටියේ ඔවුන්ගේ ජයග්රහණයන් ගැන මෙන්ම, අමෙරිකාවේ ප්රජාතන්ත්රවාදය පවතින්නේ ඔවුන් අතේ බවයි. ඡන්ද ප්‍රකාශයට මාස කිහිපයකට පෙර තමා ඉන් ඉවත්වූයේ මන්ද යන්න පිළිබඳව ඔහු සඳහන් කළේ නැත. එහෙත් මෑත කාලයක සිට තම පක්ෂය එක්සත් කළ යුතු බව තමාට හැඟීගිය බව සඳහන් කර සිටියේය. මේ මොහොතේ නව පරම්පරාවට අවස්ථාවන් ලබාදිය යුතු බවද බයිඩ්න්ගේ අදහස විය.
ජෝ බයිඩ්න් කවරක් ප්‍රකාශ කර සිටියද ඔහුගේ විරුද්ධ පාක්ෂිකයන් පවසන්නේ වෙනම කතාවකි. නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබෙන මැතිවරණයේදී අනිවාර්ය පරාජයක් හිමිවන ලකුණු පෙනෙන්නට තිබෙන බැවින් ඔහුගේ ඉවත්වීම සිදුවූ බවත් බයිඩ්න්ට ජයග්‍රහණය වෙනුවෙන් පැහැදිලි මාවතක් නොතිබුණු බවත්ය.
විරුද්ධ පාක්ෂිකයන් පමණක් නොව ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවා සඳහන් කර සිටියේ දරුණු පරාජයකින් බේරීම සඳහා ට්‍රම්ප්ගේ ඉවත්වීම සිදුව ඇති බවයි. ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේ අමෙරිකානු ජනාධිපතිවරයා රූපවාහිනියෙන් ජනතාව ඇමතීමට පැය කිහිපයකට පෙර උතුරු කැරොලිනාහි පැවැති රැලියකදීයි. බයිඩ්න් සම්බන්ධයෙන් පමණක් නොව කමලා හැරිස් පිළිබඳවද ට්‍රම්ප් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ පැහැදිලිව පෙනෙන්ට තිබෙන මානසික පරිහානිය වැළැක්වීමට කමලා හැරිස් හවුල්ව ඇති බවකි. ට්‍රම්ප් මෙම රැලියේදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත් හානිකර ජනාධිපතිවරයා ජෝ බයිඩ්න් බවයි.
“වසර තුනහමාරක් තිස්සේ ජෝ බයිඩ්න් විසින් සිදුකරන ලද සෑම ව්යසනයකම පිටුපසින් කමලා හැරිස් සිටියා. ඇය රැඩිකල් පිස්සු චරිතයක්. එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට කෙදිනක හෝ පත්වුවහොත් අපේ රට විනාශ කරයි”
ඒ කමලා හැරිස් පිළිබඳව ට්‍රම්ප්ගේ අදහසයි.
ජෝ බයිඩ්න් රූපවාහිනියෙන් ජනතාව අමතන අවස්ථාවේදී ධවල මන්දිරයේ කාර්යාලයට පවුලේ සාමාජිකයන් ද පැමිණ සිටි අතර ධවල මන්දිර කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන අවස්ථාවේදී ඔහු කාර්ය මණ්ඩලය අමතා ප්‍රකාශ කර සිටියේ “මම මේ කාර්යාලයට ගරු කරනවා, ඒත් මම වඩාත් ගරු කරන්නේ මගේ රටට” යනුවෙනි. එමෙන්ම 2025 වසරේ ජනවාරි මසදී තම ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනතාව වෙනුවෙන් තමා ආරම්භ කළ කාර්ය අවසන් කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු විය.
“අමෙරිකාවේ ඇති ශ්‍රේෂ්ඨ දේ මෙහි තිබේ. අප රට රජවරු සහ ඒකාධිපතියන් විසින් පාලනය කරන්නේ නැත. ඉතිහාස සහ බලය ඇත්තේ ඔබේ අතේය. එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය පිළිබඳව තීරණය ඇත්තේ ද ඔබේ අතේ” යනුවෙනි.
මේ අතරම ඔහු සඳහන් කර සිටියේ ජනපති අපේක්ෂකත්වයට පත් වූ 59 හැවිරිදි කමලා හැරිස්, පළපුරුදු, දක්ෂතාවයෙන් හෙබි සහායිකාවක් ලෙසයි.
උප ජනාධිපති කමලා හැරිස් Kamala Devi Harris
2021 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිනිය ලෙසින් පත්විය. ඇයගේ මෙම පත්වීමත් සමඟ කමලා හැරිස් ප්‍රසිද්ධියට පත් වූයේ ප්‍රථම කාන්තා උප ජනාධිපතිවරිය මෙන්ම එක්සත් ජනපද ඉතිහාසයේ ඉහළම ශ්‍රේණියේ කාන්තා නිලධාරිනිය වශයෙනි. තවද ඇය ප්‍රථම අප්‍රිකානු අමෙරිකා සහ පළමු දකුණු ආසියාතික අමෙරිකානු උප ජනාධිපතිවරිය ද විය.
ඩිමොක්රටික් පක්ෂයේ සාමාජිකාවක් වූ කමලා හැරිස් 2017 වසරේ සිට 2021 වසර දක්වා කැලිෆෝනියාවේ එක්සත් ජනපද සෙනෙට් සභිකයකු ලෙසත් ඊට පෙර 2011 වසරේ සිට 2017 වසර දක්වා කැලිෆෝනියාවේ නීතිපති ලෙසත් කටයුතු කරන්නට විය. ඇය නීතිපති කටයුත්ත භාර ගැනීමේදී නීතිය සම්බන්ධයෙන් පවතින දැනුම වඩා වැදගත් විය.
හොවාර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් Hasting නීති විද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නට සමත් වූ ඇය ඇලමෙඩා ප්‍රාන්තයේ දිස්ත්‍රික් ඇටෝර්නි කාර්යාලයෙන් නීති වෘත්තිය ආරම්භ කරන්නට විය. ඉන්පසුව 2003 වසරේදී සැන්ෆ්රැන්සිස්කෝහි ඇටෝනිවරයා ලෙසින් පත් වූ අතර 2010 වසරේදී සහ 2014 වසරේදී කැලිෆෝනියාවේ නීතිපති ලෙසින් පත්විය. ඇයගේ දේශපාලන ගමන්මඟ තුළදී 2017 – 2021 දක්වා කැලිෆෝනියාවේ කනිෂ්ඨ එක්සත් ජනපද සෙනෙට් සභිකයා ලෙස කටයුතු කළේය. 2016දී පැවැති සෙනෙට් මැතිවරණයේදී කමලා හැරිස් ජයග්‍රහණය කරනු ලැබුවේ එක්සත් ජනපද සෙනෙට් සභාවට සේවය කළ පළමු ඉන්දියානු අමෙරිකන් ජාතිකයා ලෙසිනි.
සෙනෙට් සභිකයකු ලෙස පත්වීමෙන් පසු ගංජා නීතිගත කිරීම, ආයුධ භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති රීති ගෙන ආ අතර සෞඛ්‍ය ආරක්ෂණ සහ බදු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටියාය. කොයිහැටි වෙතත් 2020 වසරේදී ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටිමුත් එවර ඇයට එය සිහිනයක් පමණක් විය. නමුත් එවර මැතිවරණයේ දී ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇය ඉදිරිපත්ව කටයුතු කළ අතර ඔහු ජයග්‍රහණය කළ පසු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් පළ කරමින් ඇය සඳහන් කර සිටියේ,
“අපි එය ඉටු කළා. ජෝ, ඔබ අමෙරිකාවේ මීළඟ ජනාධිපති වෙන්නයි යන්නේ” යනුවෙනි.
ජනාධිපති අපේක්ෂිකාව
අතීතයේ කතා කවරක් වුවත් මේ මොහොත වනවිට කමලා හැරිස් අමෙරිකා එක්සත් ජනපදයේ ජනපති අපේක්ෂිකාවකි. ඇයගේ ඡන්ද සටනේදී කළු ජාතිකයන්ගේ ඡන්දයද ඇයට ලැබෙනු ඇතැයි බොහෝ දෙනෙක් සඳහන් කරනුයේ එරට ප්රමුඛ කළු ජාතික විද්‍යාලවල මෙන්ම හොවාර්ඩ් විශ්වවිද්‍යාලයේ ද ඇය ගත කළ කාලය තම ජීවිතයේ වඩාත් පරිවර්තනීය අත්දැකීම් ලැබූ කාලයක් ලෙසින් සඳහන් කර සිටි නිසාවෙනි. එමෙන්ම පසුගිය බදාදා ඉන්ඩියානා පොලිස්හි කළු ජාතිකයන්ගේ Zeta Phibeta Sorority ඇමතූ ඇය ප්‍රකාශ කර සිටියේ්, “මේ මොහොතේ අපි අපේ ජාතිය සඳහා දර්ශන දෙකක් අතර තේරීමකට මුහුණ දෙන බව මම විශ්වාස කරමි. එකක් අනාගතය කෙරෙහි අවධානය යොමු කරයි. අනෙක අතීතය කෙරෙහි අවධානය යොමු කරයි. මේ මොහොතේ ඔබේ සහයෝගය ඇතිව මම අපේ ජාතියේ අනාගතය වෙනුවෙන් සටන් කරනවා” යනුවෙනි.
මේ අතර Black Lives Matter නම් ක්‍රියාකාරී කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ ප්රකෝටිපතිනියන්ගේ ඉල්ලීම පරිදි ප්රජාතන්ත්රවාදී මූලධර්ම නොසලකා හරිමින් කළු ජාතික ඡන්ද දායකයින් හැසිරවීමට කමලා හැරිස් උත්සාහ කරනා බවයි.
කොයිහැටි වෙතත් පසුගිය සතියේදී අමෙරිකාව පුරා ඉහළින්ම කතා වූ පුවත වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිදුවීමයි. එම සිදුවීමත් සමඟ ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පවා ඉහළ යාමේ ප්‍රතිශතයක් ඇති විය. එය නවතා දැමීමට නම් ඒ හා වටිනාකමක් ඇති පුවතක් නිර්මාණය විය යුතුම විය. ට්‍රම්ප්ගේ කතා පුවතට වැඩි ආයුෂ තිබුණේ නැත. බයිඩ්න්ගේ ඉවත්වීමත් කමලා හැරිස්ගේ පැමිණීමත් සමඟ වෙඩි තැබීමේ සිදුවීමේ ජනප්‍රියත්වය හීන විය. දැන් කතා බහට ලක්වන්නේ කමලා හැරිස්ගේ අපේක්ෂකත්වයයි. නව ජනාධිපති අපේක්ෂිකාවන්ගේ ඉදිරි ගමනයි.
දේශපාලනය යනු දාම් අදිනවා මෙන් ඉත්තන් කපාගෙන යෑමකි. අමෙරිකා එක්සත් ජනපදයට පුද්ගල භූමිකා ජයග්රහණයන් අවාසි නැත. ඔවුනට අවශ්‍ය තම කඳවුරේ ජයග්‍රහණයයි. යම් හෙයකින් මාතෘකාව වෙනස් කරමින් තම කඳවුර ජයග්‍රහණය කිරීම ඩිමොක්රටික් ඉහළ නිලයන්ගේ අපේක්ෂාව වූවාද දන්නේ නැත. එය කවරක් වුවත් මෙහි අවසානයක් දැක බලාගැනීමට නම් නොවැම්බරය වෙනතෙක් සිටිය යුතුය.