ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානය තුළ සාකච්ඡාවක් සිදුව නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඊයේ (26) කොළඹ මහාධිකරණයේදී මාධ්‍ය වෙත පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය ඇතුළු පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක් 2024 ජනාධිපතිවරණයට දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳ ගිවිසුමකට පසුගියදා අත්සන් කර ඇති නමුත් එයට අත්සන් කළ කිසිවකු දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් නොවන බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගන්නා දිනය අවසන් වීමට පෙර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂය ගන්නා ක්‍රියමාර්ගය ගැන සාමාජික පක්ෂ කැඳවා තීරණයක් ගැනීමට අදහස් කරන බව දන්වා සිටියේය. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු කච්චි සහ නීතිඥ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නියෝජනය කරන දෙමළ ජාතික ජනතා පෙරමුණ එම ගිවිසුමට අත්සන් තබා නැත.
මේ ගිවිසුමට එළෙඹ ඇති පාර්ශ්ව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්ගේ ප්ලොට්, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය, නීතිඥ එන්. ශ්‍රීකාන්තගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික පක්ෂය, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ්. ඇතුළු පාර්ශ්ව හතකි. මේ ගිවිසුමට අත්සන් කළ පක්ෂ බහුතරයක් පළාත් පාලන මැතිවරණයට වෙනම නාම යෝජනා භාර දීම කළේය.