පැරිස් ඔලිම්පික් උලෙළේ දර්ශනීය සමාරම්භක උත්සවය කඩාකප්පල්කාරීන්ගේ බියගුලු ක්‍රියා නොතකා ආරම්භ කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ. ක්‍රීඩා උලෙළේ සමාරම්භය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 11ට ආරම්භවීමට නියමිතව තිබූ අතර, ඉන් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළු ලොව රටවල් 206කින් පැමිණ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සෙයින් නදිය ඔස්සේ බෝට්ටු 100කට ආසන්න ප්‍රමාණයක නැඟී පෙළපාළියට සූදානම්ව සිටියහ.
මාර්ග බාධකවල දැඩි පරීක්ෂාව යටතේ පැමිණෙන නරඹන්නන්ට ස්වේච්ඡා සේවකයන් 15,000කගේ පමණ සහයෝගය ලබාදී ඇති හෙයින් අපහසුවකින් තොරව තම ආසන වෙත ළඟාවීමේ පහසුව උදා විය. පැරිස් ක්‍රීඩා මාධ්‍ය ආවරණයට පැමිණ සිටින මාධ්‍යවේදීන්ට සමාරම්භක උලෙළේ නිල ප්‍රවේශපත්‍ර ආරක්ෂක හේතූන් මත සීමාකොට තිබීමෙන් යම් නොසන්සුන්තාවක් හටගෙන තිබුණ ද, ඒ සඳහා කඩිනම් විසඳුම් සෙවීමට සංවිධායකයෝ කටයුතු කළහ.
පෙරේදා රාත්‍රියේ ප්‍රංශ අගනුවර හා සම්බන්ධවන අධිවේගී දුම්රිය මාර්ග කිහිපයක ගිනි තැබීම් වාර්තා වූ හෙයින් බියකරු වටපිටාවක් නිර්මාණයවී තිබිණි. ප්‍රංශ රාජ්‍ය දුම්රිය සමාගමක් වන ‘එස්එන්සීඑෆ්’ සඳහන් කළේ එක රැයකින් ඇතිවූ බාධාව අධිවේගී මාර්ග ජාලය අඩාළ කිරීම ඉලක්ක කර ගත් ප්‍රහාරයක් ලෙස සලකන බවයි. මේ හේතුවෙන් දුම්රිය විශාල ප්‍රමාණයක් අවලංගු කර ඇති බව ප්‍රකාශ කළේය.
මේ ප්‍රහාරවල වගකීම භාර ගැනීමට කිසිවකුත් ඉදිරිපත්නවී නැති අතර ඔලිම්පික් සමාරම්භයට සහභාගි වන දහස් සංඛ්‍යාත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා නරඹන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෙයින් නදියේ ඉවුරු දෙකම වටකොට ආරක්ෂාව තර කොට තිබේ. ආරක්ෂක ගැටලු හේතුවෙන් ඊශ්‍රායල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනම විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ප්‍රංශ ප්‍රභූ පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටී.
මේ අතර, ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අස්ථාවර කිරීමට විදේශීය බලවේගයක් සමඟ කුමන්ත්‍රණය කළ බවට සැකපිට වසර 14ක් ප්‍රංශයේ ජීවත්වූ රුසියානු සූපවේදියකු අත්අඩංගුවට ගෙන තිබේ. 40 හැවිරිදි ඔහු පැරීසියේ පිහිටි මහල් නිවාසයකදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි තිබී ප්‍රභූ රුසියානු විශේෂ බළකා ඒකකයකට සම්බන්ධ ලියවිල්ලක් සොයාගත් බව වාර්තා වේ. ප්‍රංශයේ කටයුතු අවුළුවාලීමේ අරමුණින් විදේශ බලවේගයක් සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වසර 30ක සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බව නීති විශාරදයෝ පවසති.