ලෝකය බිහි කළ මාතාවයි ඔබ
ස්නේහය කැටි කළ සොහොයුරියයි ඔබ
ප්‍රේමය පිඬු කළ පෙම්වතියයි ඔබ
යැයි ‘සඳෙන් සොමිගෙන මැවූ ගැහැනිය’ නම් වූ ගීතයේදී මහාචාර්ය සුනිල් ආරියරත්න පද බැන්දේය. “රාගිනි” චිත්‍රපටයේ එන මෙම ගීතය ගයන්නී, නන්දා මාලනියය.
දැන් “ඇය” අපට ජයග්‍රහණයේ ඔටුන්න ලබා දී ඇත. සටන්කාමීත්වය යනු පිරිමියා හැඩ කරන ගති ස්වභාවයකි. එයින් පිරිමිකම වැහෙන්නේය. මේ නිසා ක්‍රීඩා ආදී වූ ඉසව්හිදී කාන්තාව දෙවැනි තැනට පත්විය. බීච් වොලිබෝල්, නෙට්බෝල් වැනි ඉසව් කිහිපයක පමණක් ඇයගේ ක්‍රීඩා කෞශල්‍යය සඳහා සීමා විය. ඒවා වුවද ගැහැනියගේ ශරීරාංග පුරුෂ රසවින්දනය සඳහා හැඩගැන්වූ ඇඳුමෙන් යුත් හෙයින් පුරුෂයා වෙත ක්‍රීඩාවට එහා ගොස් ස්ත්‍රී ශරීරය රස විඳීම සඳහා අවස්ථාව ලබාදුන් ඉසව් විය. ඒ මිස ක්‍රීඩාවෙන් හෝ අන් යමකින් ගැහැනිය ඉහළට ගෙන ඒම, පුරුෂ ආඛ්‍යානය ප්‍රධාන වූ සමාජ රටාවක ඇති නොවේය. සුසන්තිකා ජයසිංහ පළමු කොට බිඳ දමන ලද්දේ එම කතාවය. ‘ජයග්‍රහණයේ කිරුළ ගෙනා ඔබ’ ලෙස තවත් පදයක් අර ගීතය සඳහා දැන් එක් කළ හැක්කේය.
මේ පූර්විකාව ගෙනහැර දක්වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු විස්සයි විස්ස ශුරතාව දිනාගැනීමේ කතාව මාතෘකා කර ගැනීමටය.
ක්‍රිකට් යනු මේ ජාතියේ ප්‍රධාන ආනන්දනීය ඉසව්වය. එය දැන් අත්කරගෙන ඇති ඉරණම වනාහි තනිකරම ඛේදවාචකයකි. මුල් පෙළ හොඳින් ක්‍රීඩා කළ කල්හි මැද පෙළ කඩාගෙන වැටෙන්නේය. පන්දු යවන්නෝ වැඩේ හරියට කරන විට, රකින්නෝ, අතට එන පන්දුව ද ඇඟිලි අතරින් බිමට බාන්නේය. ඔය ආකාරයට කිසිදු ලකයක් නැති පිරිමි කණ්ඩායමේ ක්‍රිකට් දෙස දැන් බලා සිට එපා වී ඇති හෙයින්, ගියවර අප බොහෝ දෙනෙක් සපෝට් කළේ ඇෆ්ගන් කණ්ඩායමටය. දුෂ්කර ජීවිතයක් අතරේ වෙඩි හඬ සමඟ පන්දුව සහ පිත්ත දෝලනය කර ගනිමින් එම කණ්ඩායම ගිය ගමන වූ කලී අනූහයේ ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අපට සිහිපත් කළේය. ඒ තරම් ඇල්මැරුණු ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් තවත් වැඩේ මස්තබාල්දු කරමින්, ඉන්දියාව සමඟ පැවැත්වුණු ටී ටුවෙන්ටි මැච් දෙකම අනාථ කර ගත්තේය. මේවා අවාසනාව ආදී කාරණා නොවේ. මීට පෙර අප උත්සාහ කරන ලද්දේ වෘත්තියමය ක්‍රීඩකයන් හැදීම සඳහාය. උදේ වැඩේට ගොස් සන්ධ්‍යාවේ පුහුණුව සඳහා එන ක්‍රීඩකයන්ගෙන් ලැබෙන ප්‍රතිඵලය වෙනුවට ක්‍රීඩාවේම නියැළෙන පරපුරක් සාදා ගැනීමට අපට හැකිවිය. කණ්ඩායම වෘත්තියමය විය. ක්‍රීඩකයෝ සඳහා ඉහළ වැටුප් ලබාදීමේ ශක්‍යතාවක් ඇතිවිය. එහෙව් තත්ත්වය අත්කර ගත් සැණින් ක්‍රීඩකයෝ වහා, වැදී යුගයට පසුබැස්සාහ. ඔවුහු ක්‍රීඩාව අමතක කර විලාසිතාව සඳහා පෙරට ආහ. කනකර, පච්ච ආදියෙන් සංගෘහිත වූ ක්‍රීඩක තෙමේ, පිත්ත අතට ගෙන පිටියට ගොස් හැරෙන තැපෑලෙන් ආපසු එන්නේය. මේ ආදී ලෙසට දකින දකින දිනයේ පරදින හෙයින් ක්‍රිකට් යනු පරාජයේ නවතම මුහුණුවර බවට අප වෙත දැනෙන්නේය.
චමරි අතපත්තු ප්‍රමුඛ කාන්තා බළඇණිය පෙරේදා රාත්‍රියේ මව්බිමට ගෙන ආවේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් විසින් ඉන්දියන් සාගරය මධ්‍යයේ දමා ආ අභිමානයය. ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරග බිමේදී ඉන්දියාව හමුවේ පස්වරක් අනුශූරියන් වී සිටි ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ අපරාජිතයන් ලෙස ශූරතාව අත්කර දීමට චමරි අතපත්තු ප්‍රමුඛ ක්‍රීඩිකාවෝ පෙරේදා රාත්‍රියේ සමත් වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පොතේ අර්ජුන, අරවින්ද, මහානාම, හෂාන්, සනත් ආදී නම් අතරට චමරි දැන් එක්ව ඇත්තේය. පිරිමි ක්‍රිකට් සඳහා ලැබෙන වටිනාකම කිසිම අයුරකින් කාන්තා ක්‍රිකට් වෙත මේ වන තෙක් ලැබුණේ නැත. ගෙවීම් ලැයිස්තුව ගත් වන එතැන ද අඩු සැලකිලිය. මෙවන් අඩු සැලකිලි මධ්‍යයේ වුවද රටේ නාමය සඳහා අපරාජිතව ලබාදුන් ජයග්‍රහණය වෙනුවෙන් චමරි අතපත්තු ප්‍රමුඛ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙම තීරුව සිය උපහාරය පුද කරන්නේය.
පියා අහිමි දරුවන්ගේ ජීවිත ගොඩ නගන මවක් සේ, අම්මා, අප්පා නැති කල ලොකු අක්කා පවුල මෙහෙයවන්නා සිංහල පවුලේ ජීවන හරභයේ හැම තැනකම කාන්තාව ඇත්තේය. එම ජවනිකාව පෙරේදා ක්‍රිකට් පිටියට පිවිසුණේය.
හර්ෂිතා සමරවික්‍රම, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී වැනි නම් ගණනාවක් මෙම ජයග්‍රහණය තුළ ඇත්තේය. පුහුණුකරුවන් ලෙස රොමේෂ් රත්නායක, තරිඳු ප්‍රගීත් පෙරේරා ආදීන් ගණනාවක් කාන්තා පිල සඳහා සවිබලයක් විය.
18 වැනි සියවසේ දී එංගලන්තයේ ජාතික ක්‍රීඩාව බවට පත්ව 19 වැනි සියවස වන විට වර්ධනය වී ලෝකය පුරා ක්‍රිකට් පැතිරිණි. ජනප්‍රියත්වය අතින් එය ලෝකයේ දෙවැනි ක්‍රීඩාවය. මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස ලැබූ විරුදාවලිය ශ්‍රී ලංකාවේ අපට දැන් නුහුරක් බවට පත්වෙමින් ඇත්තේය.
පිටියට බට මහත්වරු පරදින ආකාරයට කලිසම ගැලවී යන්නේ, රටේය. එහෙව් ආකාරයට පිරිමි පිල බාල්දු කළ ජාතියේ නාමය දැන් ගොඩගෙන ඇත්තේ නෝනාවරුන්ය. ඒ නිසා යළි දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ‘නෝනාවරුන්ගේ ක්‍රීඩාව’ ලෙස නම් කරන ලෙස මේ තීරුව ඉල්ලා සිටින්නේය.