Home » වැල්ලවත්ත බැංකුවකින් ලක්ෂ 130ක් කොල්ලකෑම

වැල්ලවත්ත බැංකුවකින් ලක්ෂ 130ක් කොල්ලකෑම

- හිටපු DIGගේ පුතා ඇතුළු දෙදෙනකුට ලක්ෂ 18ක දඩයක්

by sachintha
July 31, 2024 12:49 am 0 comment

වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට බලහත්කාරයෙන් ඇතුළු වී ගිනි අවි පෙන්වා අයකැමිවරු බියගන්වා රුපියල් ලක්ෂ 130ක මුදලක් කොල්ලකෑමේ චෝදනාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතකු ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණය ඊයේ (30) රුපියල් ලක්ෂ 18ක දඩ මුදලක් සහ බරපතළ වැඩ ඇතිව අවුරුදු 2ක සිරදඬුවමක් නියම කර එය අවුරුදු 15කට අත්හිටුවීමට නියෝග කළේය.

විත්තිකරුවන්ට එරෙහිව දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දඩ මුදල ගෙවීමෙන් පසු විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීමට නියම කළේය.

මෙලෙස දඬුවම් නියම වූයේ කොළඹ කුරුඳුවත්තේ පදිංචි ඉම්රාන් ඉස්මයිල් සහ අසිත දමිත්‍ර ලියනගේ නමැති විත්තිකරුවන් දෙදෙනකුටය.

නඩුවේ පළමු විත්තිකරු වන අස්විද රොෂාන් පීරිස් නමැත්තා නඩු විභාගය අතරතුරදී මිය ගියේය.

දෙවැනි විත්තිකරු වන චාමින්ද රොෂාන් පීරිස් නමැත්තා විදේශයකට පලා ගොස් ඇත. ඒ අනුව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය යටතේ එම චුදිතට විරුද්ධව නඩු විභාගය සිදුවේ. 2009 වසරේ අප්‍රේල් මස 24 වැනිදා වැල්ලවත්තේ ගාලු පාරේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවකට ගිනි අවි පෙන්වා බලහත්කාරයෙන් ඇතුළු වූ විත්තිකරුවන් එහි කළමනාකරු ඇතුළු පිරිස බිය ගන්වා රුපියල් ලක්ෂ 130ක මුදලක් කොල්ලකා ඇත. අනතුරුව ඔවුන් බැංකුවේ රථ අංගණයේ නවතා තිබුණු ගනුදෙනුකරුවකුගේ මෝටර් රථයක් පැහැරගෙන පලා ගොස් තිබේ.

මේ පිළිබඳ පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය මඟින් කළ ද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම නිසා පොලිස්පතිවරය විසින් විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සන්තකයේ තිබී කොල්ලකෑ මුදලින් රුපියල් 12,589,900ක මුදලක් සොයා ගන්නා ලදි. සැකකරුවන් දැඩි ලෙස කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වූවන් බව පරීක්ෂණවලදී අනාවරණය විය. විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

සැකකරුවන් වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාරගත සිටි අතර නීතිපතිවරයා විසින් 2017 වසරේදී නඩු පවරන ලදි. දණ්ඩ නීති සංග්‍රහයේ 383 වගන්තිය ඇතුළු වගන්ති යටතේ කොල්ලකෑම සහ ආධාර අනුබල දීමේ චෝදනාවට විත්තිකරුවන්ට චෝදනා ගොනු කරන ලදි.

විත්තිකරුවන් මුල් අවස්ථාවේදීම වරද පිළි ගැනීම සහ කොල්ලකෑමට පෙර සූදානමක් නොතිබීම යන කරුණ සැලකිල්ලට ගෙන යළි සමාජගත විය හැකි ආකාරයේ දඬුවමක් චුදිතයන්ට දීමට අධිකරණය තීරණය කළේය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය. රජයේ අධිනීතිඥ අකලංක බාලපටබැඳි පැමිණිල්ල මෙහෙය වූයේය. නඩුවේ 3 වැනි විත්තිකරු වන නලින්ද අනුරුද්ධ බණ්ඩාර නමැත්තාට එරෙහිව නඩු විභාගය සිදුවේ.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT