මෙම වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් වැවිලි භෝග 05ක් අපනයනය මඟින් මෙරටට ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1118.06ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වර්ෂයේ (2023) ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙම වැවිලි භෝගවලින් උපයන ලද අපනයන ආදායම ඩොලර් මිලියන 884.6කි. ඒ අනුව පසුගිය වර්ෂයේ පළමු මාස හතර තුළ අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 234ක ආදායමක් මෙම වර්ෂයේ පළමු මාස හතර තුළදී ඉපැයීමට හැකි වී තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ වැවිලි අංශයේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් පෙරේදා (29) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.
තේ හා පොල් වගාවන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය සම්බන්ධව මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කරනු ලැබීය. තේ වගාවන් සඳහා පොහොර යෙදීම ප්‍රවර්ධනය සඳහා දැනට ලබාදෙන රුපියල් 2000ක සහනාධාරය තවත් දෙගුණයකින් ඉහළ නංවමින් රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට මෙහිදී තීරණය විය. මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 2000ක මුදලක් වෙන්කරනු ලැබ තිබේ. තේ වගාවන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීම මෙන්ම තේ වතුවල ඇති අභ්‍යන්තර මාර්ග ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට තීරණය කරනු ලැබීය. දැනට නෙළන තේ දලු කර්මාන්තශාලා දක්වා ප්‍රවාහනය කිරීමේදී මාර්ගවල ඇති අපහසුතා නිසා තේවල ගුණාත්මකභාවයට හානි සිදුවන බව වාර්තා වී ඇතැයි අමාත්‍ය අමරවීර මහතා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව තේ වතුවල ඇති දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකරන ලද මාර්ග ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතු මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් වහා අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය. මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ශ්‍රී ලංකා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ඒ.එම්.එච්.එල්. අබේරත්න සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහත්වරු ද සහභාගි වූහ.
බුද්ධිකා ඉඹුලාන