ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සිංහල අවුරුදු මත්පැන් සාදයකින් පසු ඇතිවූ ආරවුලකදී ගල් හා පොලු මුගුරුවලින් පහරදී පුද්ගලයකු තිරශ්චීන ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවන් 4 දෙනකුට කොළඹ මහාධිකරණය ඊයේ (30) මරණ දඬුවම් නියම කළේය.
දීර්ඝ නඩු විභාගයකින් පසු ඊයේ (30) තීන්දුව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි මහතා චුදිතයන් ජනාධිපතිවරයා නියම කරන දිනක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරා දැමීමට නියම කළේය.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ දේවසුන්දරන් චන්ද්‍රසේකරන් නොහොත් සේකර්, රාමනාදන් රාජේශ් ඛන්නා නොහොත් ප්‍රභූ, සුන්දරම් සුදාකරන් නොහොත් සුදාකර්, රාමනාදන් රාජ්සේකරන් නොහොත් සිරංජි යන විත්තිකරුවන් සිව්දෙනාටය. නඩුවේ 2 වැනි විත්තිකරු වූ රෙන්ගන් චන්ද්‍රකුමාර නොහොත් නිකා නමැත්තා නඩු විභාගය අතරතුරදී මිය ගොස් ඇත. මෙයට වසර 11කට පෙර 2013 වසරේ අප්‍රේල් මස 14 වැනිදා ඔරුගොඩවත්ත සාන්ත වත්ත ප්‍රදේශයේදී බාලක්‍රිෂ්ණන් ජගත් කුමාර යන අයට පහරදී මරා දැමීමේ චෝදනාවට විත්තිකරුවන් 6 දෙනකුට නඩු පැවරීය.
දණ්ඩ නීති සංග්‍රහයේ 140, 296 වැනි වගන්ති යටතේ චෝදනා ගොනු කිරීම සිදුවිය. අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 4ක් යටතේ නඩු 2017 වසරේදී නඩු පවරන ලදි. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මඟින් විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
පැමිණිල්ල මඟින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර ඇති බව ප්‍රකාශ කළ විනිසුරුවරයා 1,3,4,5 විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළේය. නඩුවේ 6 වැනි විත්තිකරු වන රාමචන්ද්‍රන් චන්ද්‍රමෝගන් නොහොත් තම්බි නමැත්තා ප්‍රමාණවත් සාක්ෂි නැති බව පවසා නඩුවෙන් නිදහස් කළේය. රජයේ අධිනීතිඥ අරින්ද්‍ර ජයසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවිය.
චන්දන ජයවීර