ශාන්තිකර්මයක් කර ගැනීමට මිනුවන්ගොඩ කෝපිවත්තේ පිහිටි දේවාලයකට ගිය කාන්තාවක රැවටීමට ලක්කර මත්වීමට පානයක් දී ඇය පැලඳ සිටි රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගත් බව කියන දේවාලය පවත්වාගෙන ගිය දේවගැති කාන්තාවක් මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවාය. ඉදිරියේදී මරණය හෝ දේපොළ අහිමි වීමේ තර්ජනයක් ඇති වන බව පවසමින් කාන්තාවක බියගන්වා පූජාව කිරීමට ප්‍රථම ඇය පැලඳ සිටින රන් භාණ්ඩ සුදු රෙදි කඩක් මත තබන ලෙස පවසා අනතුරුව ඇයට මත්ද්‍රව්‍යයක් සහිත පානයක් බීමට දී මෙම සොරකම සිදුකර ඇති බව මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටින කාන්තාවකි. පවුම් 09ක් බරැති රන් මාල 02ක්, වළල්ලක්, පෙන්ඩන් 03ක්, කරාබු ජෝඩුවක් සහ අත්ඔරලෝසුවක් සොරාගත් භාණ්ඩ අතර වෙතැයි පොලිසිය කියයි. මෙම දේවගැති කාන්තාව මිනුවන්ගොඩ කනත්ත පාර පදිංචිව සිට ඇති අතර එම ඉඩම් දේපොළ විකුණා කාලයක් තිස්සේ නිල්පනාගොඩ නිවෙසක කුලී පදනම මත රැඳී සිට ඇත. එසේ සිටින අතර අසල්වැසි නිවෙසක පදිචිව සිටි 85 හැවිරිදි වයෝවෘද්ධ මාතාවක සහ ඇගේ 63 හැවිරිදි අවිවාහක දියණිය සමීපව ඇසුරු කරමින් මිත්‍රත්වයක් ගොඩනඟාගෙන ඇත.
මෙම අවිවාහක කාන්තාවට ඉදිරියේදී මරණය හෝ දේපොළ අහිමි වීමේ අවදානමක් ඇති බවට මෙම කපු කාන්තාව වරින් වර කියා ඇය මුළාවට පත් කර ඇතැයි ද ජීවිතය හා දේපොළ ආරක්ෂා කර ගැනීමට සෙත් ශාන්තියක් කරදිය හැකි බව දන්වා තිබේ. මෙම කාන්තාව කෝපිවත්ත කුලී නිවෙසට යෑමෙන් පසු ද වරින් වර පෙර කී කාන්තාවට කතා කරමින් ඇති විය හැකි තර්ජනය ගැන අනතුරු අඟවා තිබේ.
ඒ අනුව එම කාන්තාව ශාන්තිකර්මයක් කර ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇත. දේවගැති කාන්තාව දැනුම්දී ඇත්තේ ඉකුත් 28 වැනිදා රාත්‍රී දේවාලයට එන ලෙසය. ඒ අනුව මව සහ දියණිය කැඳවාගෙන ඒමට ත්‍රිරෝද රථයක් ද ඇය විසින් යවා ඇතැයි හෙළිවී ඇත. රන් ආභරණ ආදිය ද මල්ලක දමාගෙන දේවගැති කතගේ දේවාලයට ගිය පසු රන් ආභරණ සුදු රෙද්දෙහි ඔතා එහිම තබා ඇත. අනතුරුව ත්‍රිරෝද රියේම ගොස් තුන් මං හන්දියක පොල් ගෙඩි තුනක් ගසා එන ලෙසට දේවගැති කාන්තාවගෙන් උපදෙස් ලැබී ඇත. එසේ කර ආ පසු තැඹිලි හා වතුර පානයට දී ඇති අතර ඒවා පානයෙන් පසු කාන්තාව තරමක සිහි විකල් තත්ත්වයකට පත්ව තිබේ. රාත්‍රී 11.30ට පමණ ඔවුන් ත්‍රිරෝද රියෙන්ම පිටත් කරවා ඇත. දේවගැති කාන්තාව විසින් ඒ යන විට රන් භාණ්ඩ රැගෙන ආ මල්ල සෙත් ශාන්තිය කළ කාන්තාවගේ අතට දී ඇතැයි පොලිසිය සඳහන් කරයි. අතරමඟදී ඇය ප්‍රකෘති තත්ත්වයට පත්ව රන් ආභරණ සොයා ඇතත් මල්ලෙහි ආභරණ නැති බව දැන යළි ආපසු කපු කාන්තාව හමු වී ඒ බව විමසා තිබේ.
දේවගැති කාන්තාව කිසිත් නොදන්නා බව ප්‍රකාශ කිරීම හේතුවෙන් පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමට සෙත් ශාන්තිය කර ගැනීමට ගිය කාන්තාව පියවර ගෙන ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ ද සහාය ඇතිව විමර්ශන පැවැත්වූ පොලිසිය රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් දේවගැති කාන්තාව වන ජී. රෝෂිනී ධනංජනී ජයසිංහ නමැත්තිය අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.සී.එස්. ජයලත් මහතාගේ මෙයෙවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.ජේ.එස්. ජයවර්ධන, පොලිස් සැරයන්වරුන් වන (72883) අජන්ත, (7682) සම්පත්, (55474) සුසන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන (26356) නිමල්, (103000) බණ්ඩාර සහ (103913) අත්තනායක යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
කොටදෙණියාව සමූහ – එම්. පුෂ්පකුමාර