ජනාධිපතිවරණයට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම රුපියල් මිලියන 950ක් බවට තැපැල් දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබේ. ඊට අදාළව දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 1400ක මුදල රුපියල් මිලියන 950ක් දක්වා අඩු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මැතිවරණ කොමිෂන් සභාව සමඟ සිදු කළ සාකච්ඡා දෙකකින් අනතුරුව එම මුදල සංශෝධනය කරන ලෙස සිදු කළ ඉල්ලීමට අනුව එම මුදල සංශෝධනය කළ බවත් ඊට අදාළ නව සංශෝධිත මුදල් ඇස්තමේන්තුව මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා කීවේය.
ජනාධිපතිවරණ පනත ප්‍රකාරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඡන්ද දායකයන්ගේ නිවාස වෙත නොමිලේ යොමු කළ යුතු බව දක්වා ඇති බව කියා සිටි ඒ මහතා විශේෂ රාජකාරියක් ලෙස එය කළ යුතු වන බවත් ඊට අමතරව මුදලක් වැය වන බවට මැතිවරණ කොමිසම දැනුවත් කරන බවත් ඔහු කීවේය.
තැපැල් දෙපාර්තමේන්තුවේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.
තැපැල් ඡන්ද දිනය ප්‍රකාශයට පත් කළ පසුව තැපැල් ඡන්ද පත්‍රිකා සහිත පැකැට්ටුව තේරීම් භාර නිලධාරියාගෙන් ලබාගෙන එය අදාළ නිලධාරියා වෙත යොමු කිරීමටත් පියවර ගන්නවා. එමෙන්ම ඡන්ද පත්‍රිකා ඡන්ද දායකයාගේ නිවාස වෙත යොමු කිරීමට සූදානම්. ඊට අදාළ වාහන සේවකයන් සූදානම් කර තිබෙනවා. තැපැල් කාර්යාලයක් මැතිවරණ කොමිසමේ ස්ථාපිත කිරීමට සූදානම් කර තිබෙනවා. මේ වන විට ප්‍රමුඛ සේවා ලේබලය සහිත ලිපි භාර ගැනීම ආරම්භ කළා. නාම යෝජනා අවසන් වූ පසුව ඉදිරි කටයුතු ආරම්භ කරනවා.
සුභාෂිණී සේනානායක