උතුරුමැද පළාත් පොලිස් ක්‍රීඩා උත්සවය අවසන් වීමෙන් අනතුරුව ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු සමඟ වැව් තාවුල්ලේ සාදයක් පවත්වා කසිප්පු ජාවාරම්කරු සමඟ යතුරුපැදියකින් ගොස් පුද්ගලයකුට අමානුෂික ලෙස පහරදුන් මැදවච්චිය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ වන විට එම පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් ස්ථානයේ රාජකාරි සඳහා වාර්තා නොකර මඟහැර සිටින බවද මැදවච්චිය පොලිසිය සඳහන් කළේය.
මැදවච්චිය පොලිසියට අනුයුක්ත මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා උතුරු මැද පළාත් පොලිස් ක්‍රීඩා උලෙළේ පුහුණු කටයුතු සඳහා විශේෂ රාජකාරි මත නිදහස් කර කොට්ඨාස ක්‍රීඩා අංශයට දින කිහිපයක් තිස්සේ අනුයුක්ත කර සිට ඇත. මෙම ක්‍රීඩා උත්සවය පසුගිය 28 වැනිදා පවත්වා ඇත. ක්‍රීඩා උත්සවය වෙනුවෙන් කළ කැපවීම් සලකා බලා කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට පෙරේදා (29) සිට දින තුනක විවේක නිවාඩු ද ලබාදී තිබේ. මෙම කොස්තාපල්වරුන් දෙදෙනා විවේක නිවාඩු ලබා ගන්නා බවට පොලිස් පොත්වල සටහන් නොතබා පෙරේදා (29) කෝනකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකුගේ නිවෙසට ගොස් ඇති බව පොලිසිය කියයි. එම කසිප්පු ජාවාරම්කරුගේ නිවෙස අසල වැවක් ඇති බවත් එම වැව් තාවුල්ලේ පොලිස් නිලධාරීන් දෙදෙනාත් කසිප්පු ජාවාරම්කරුත් තවත් කිහිප දෙදෙනෙකුත් සමඟ මත්පැන් සාදයක් පවත්වා තිබෙන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
මත්පැන් සාදයෙන් අනතුරුව කසිප්පු ජාවාරම්කරුවා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා එක් යතුරුපැදියක නැඟී යමින් සිටියදී මඟදී හමුවූ “බූලා” නමැති පුද්ගලයකු සමඟ ගැටුමක් ඇති කරගෙන එම පුද්ගලයාට හෙල්මට්වලින් පහරදී ඇති බව ද පොලිසිය කියයි. තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගතව ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මැදවච්චිය පොලිසිය විසින් අල්ලා බීමත්ව සිට ඇත්ද යන්න පරික්ෂා කිරීමට අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් වාර්තා ද ලබාගෙන තිබේ. පසුව මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම කොස්තාපල්වරුන් දෙදෙනා පොලිසියේ තබාගෙන සිටියදී පොලිස් ස්ථානයෙන් පලා ගොස් තිබේ.
මේ වන විට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මොවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔවුන්ට වහාම පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබේ. එහෙත් ඊයේ වන විටත් ඔවුන් පොලිස් ස්ථානයට පැමිණ තිබුණේ නැත.
ගයාන් කුමාර වීරසිංහ, රක්ෂණ ශ්‍රියන්ත