පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 23වැනි උප කුලපතිවරයා ලෙස මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ඊයේ (01) වැඩ භාර ගත්තේය.
හිටපු උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාගේ වසර තුනක ධුර කාලය පෙරේදා ( 31) අවසන් විය.
උපකුලපති ධුරය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවෙන් පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයට මහාචාර්යවරු 07 දෙනකු ඉදිරිපත් වූ අතර, එයින් වැඩිම ලකුණු ගත් තිදෙනාගේ නම් පාලක සභාවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කර තිබිණි.
එම තිදෙනා අතරින් වැඩිම ලකුණු ගෙන තිබූ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා උපකුලපති ධුරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබීය.
මහාචාර්ය මදුජිත් මහතා උපකුලපති ධුරයට පත්වීමට පෙර වසර තුනක කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ලෙස කටයුතු කළේය.
1997දී සහාය කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට එක්ව තිබෙන මදුජිත් මහතා කෘෂිකර්ම පීඨයේ ආහාර හා තාක්ෂණ අංශයේ මහාචාර්යවරයෙකි. විශ්වවිද්‍යාල පර්යේෂණ කමිටුවේ අධ්යක්ෂවරයකු ද, දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රයේ අධ්යක්ෂවරයකු ද වන ඒ මහතා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයෙකි.
නව උපකුලපතිවරයා එක්සත් ජනපදයේ ජෝජියා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇත. ආහාර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පර්යේෂණ පත්‍රිකා රැසක් එළිදක්වා තිබෙන ඒ මහතා ජත්‍යන්තර පිළිගැනීමට ලක්වූ බුද්ධිමතෙකි.