ජනාධිපතිවරණයේ දී සහාය ලබා දෙන අපේක්ෂකයා කවුරුන් විය යුතු දැයි ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම ආධාරකරුවන් අතර ඊයේ (01) රහස් ඡන්දයක් විමසුවේය.
ඇමැතිවරියගේ සහාය ලැබිය යුතු අපේක්ෂකයා කවුරුන්දැයි සටහන් කරන ලෙස පත්රිකාවක්ද මෙහිදී ලබා දුන් අතර, ඇමැතිනියගේ ආධාරකරුවෝ විසින් එය පුරවා ලබා දුන්හ.
රනිල් වික්රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී ඇමැතිනියගේ සහාය හිමිවිය යුතු බව රැස්වීමේදී අදහස් දැක්වූ 13 දෙනාගෙන් 12 දෙනෙකු පවසා තිබිණි. පැල්මඬුල්ල රිල්හේනේ පිහිටි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිවෙසේදී මෙම රැස්විම කැඳවා තිබුණි.
රත්නපුර දිස්ත්රික්කයේ පොදු ජන පෙරමුණ නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන ප්රධානීන් රැසක්ද ප්රාදේශීය සභා සහ නගර සභා හිටපු මන්ත්රීවරුන් රැසක්ද පොදු ජන පෙරමුණේ කොට්ඨාස මට්ටමේ ක්රියාකාරිකයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. පළාත් පාලන ආයතන නියෝජිතයින් 78 දෙනකු මේ අවස්ථාවට එක්වූ බවත් තවත් පොහොට්ටුවේ ක්රියාකාරිකයන් හයසියයක් පමණ සහභාගි වූ බවද වාර්තා වේ.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ පොදු ජන පෙරමුණේ ක්රියාකාරිකයන් කිහිප දෙනෙකු සඳහන් කළේ ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ඇමැතිනියගේ සහාය ලබා දෙන ලෙස තමන් යෝජනා කරන බවයි.
පොදු ජන පෙරමුණේ එක් ක්රියාකාරිකයකු සඳහන් කළේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයාට සහාය ලබා දිය යුතු බවයි.
ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ තීරණය ළඟදීම ලබා දෙන බව ඇය තම ආධාරකරුවන්ට පැවසුවාය. ඇය රහසිගත මත විමසුම මෙදින හෙළි නොකළාය.