අපවත් වී වදාළ හුනුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමිගේ දේහය සහෝදර භික්ෂූන් වහන්සේලා විසින් ඔසවාගෙන යන අයුරු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහ නාහිමියන්ට අවසන් ගෞරව දක්වමින් ගමන් කරන අයුරු. – ඡායාරූපය – සුලෝචන ගමගේ
රටට, දැයට හා සම්බුද්ධ ශාසනයට සිය මෙහෙවර නිමා කළ ගංගාරාම විහාරාධිපති, කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ දහස් සංඛ්‍යාත සංඝ රත්නයේ සහ ශිෂ්‍ය භික්ෂූන්ගේ සෝ සුසුම් මධ්‍යයේ ඊයේ (05) පස්වරුවේ දැයෙන් සමුගෙන ගියහ. ගංගාරාම පොඩි හාමුදුරුවෝ නමින් දෙස් විදෙස් කීර්තියට පත් උන් වහනසේ එදා මෙදාතුර මෙරට තරුණ පරපුරට වෘත්තීය මං සලසමින්, ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබාදීමෙහිලා පූරෝගාමීව ක්‍රියා කළහ. වැඩිහිටියන්ට සරණ වෙමින් සමාජ සත්කාර සේවාවන් ඉටු කරමින් සංඝයා වහන්සේ නමකගේ වගකීම මනාව ඉටු කළ උන් වහනසේ, සමාජයට ඉටු කළ මෙහෙය අතිමහත්ය. කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබූ උන් වහනසේගේ දේහය පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා විහාරස්ථානය වටා පැදකුණු කරවීමෙන් අනතුරුව අවසන් වතාවත් සඳහා අදාහන පූජෝත්සව භූමියට රැගෙන ආහ.
උන් වහන්සේගේ දේහය රන්සිවිගෙයි තැන්පත් කර පූජනීය භූමිය වටා වැඩම කරවීමට ප්‍රථම දේහයට දහස් සංඛ්‍යාත පුෂ්පෝපහාර දැක්වීම සිදුකෙරිණි. බෞද්ධ හිමි නමක් අපවත් වීමෙන් පසුව සිදු කළ යුතු වත්පිළිවෙත් සියල්ල සිදු කර දේහයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව දේහය ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු සෙසු භික්ෂූන්ගේ උරහිස් මතින් මලින් සැරසූ රන්සිවිගෙය වෙත වැඩම කරවා එහි තැන්පත් කර පූජනීය භූමිය වටා වැඩම කරවීම සිදු වූයේ ද අහසින් මල් වැසි වස්සවමිනි. සැදැහැවත් පිරිසට ගෞරවය දැක්වීම සඳහා දේහය පූජනීය භූමිය වටා වැඩම කරවීමෙන් පසුව අලංකාරවත් ලෙස සැරසූ ආදාහන මළුව වෙත වැඩම කරවීම සිදුකෙරිණි. ගංගාරාම විහාරස්ථානය ඉදිරිපස භූමිය වෙත දේහය රැගෙන යෑමෙන් අනතුරුව උදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවට අස්ගිරි, මල්වතු පාර්ශ්ව ඇතුළු සියලු නිකායන් නියෝජනය කරමින් මහා සංඝයා වහන්සේලා මෙන්ම විවිධ ආගමික නායකයන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද එක්ව සිටියහ.
චමීර අැල්ලදෙණිය, මහින්ද අලුත්ගෙදර