රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරාණ,ලිහිනියාගම,උනම්පිටිය,කුඩාලුණුක ගම්මාන හරහා පෙරේදා (04) සවස හමා ගිය සැඩ සුළඟින් නිවාස 25කට වැඩි ප්‍රමාණයක වහල ගසාගෙන ගොස් හානි වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
පෙරේදා (04) සවස 5.00ට පමණ අකුණු ගසා එක පාරටම කළු දුමාරයක් වගේ සුළඟක් හමා ගිය බවත් ඒ සුළං තත්ත්වය විනාඩි 10ක් පමණ කාලයක් තිබු බවත් සුළඟත් සමග පොඩි වැස්සක් ද ඇද හැලුණු බව ගම්මු කියති. හානියට පත් නිවෙස් හිමියන් සිද්ධිය මෙසේ විස්තර කළේය.
එච්.එම් ධර්මසේන (49) මහතා –
අපි ගෙදර හිටියේ එක පාරටම අකුණු දෙක තුනක් ගැහුවා.ඒත් එක්කම කළු දුමාරයක් වගේ ගුලියක් හෝ ගාලා ආවා.අපේ කන් පවා ඇහෙන්නේ නැතිව ගියා.මම ගේ ඇතුළට ගිහින් මගේ බිරිය සහ දරුවන් අඩ ගහගෙන ගෙදර පහළ තට්ටුවට ගිහින් හිටියා.සද්දේ නතර වෙලා බලද්දි අපේ උඩතට්ටුවේ වහලේ පැත්තක් සුළඟේ ගිහින් විනාශ වී තිබුණා.
එච්.එම් සෝමසිරි කුමාර (42) මහතා-
වැස්ස ආවා.මාත් බිරියත් ළමයින් තුන්දෙනා එක්ක ගෙට දුවගෙන ආවා.ඩීන් ගාන සද්දයක් ඇහුණා. ලොකු සුළඟක් ආවා.වහලේ එක පාරක් ඉස්සිලා වැටුණා.ඊළඟ පාරට වහලේ පැත්තක්ම කඩාගෙන ගියා.අපි ළමයින් තුන්දෙනා බිත්තියක මුල්ලකට කරගෙන හිටියා. විනාඩි 10ක් විතර කන් දෙකවත් ඇහුණේ නෑ සද්දෙට. අපි පස්සේ බලද්දී තමයි දන්නේ වැහැලා ගේ ඇතුළේ හිටන් වතුර පිරිලා කියලා. මේ සුලි කුණාටුවට හසු වී ගොවීන්ගේ වගා බිම් ද විනාශ වී ඇති අතර මීට අමතරව මහියංගණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සේරුපිටිය ගම්මානයේ ද නිවාස කීපයක් හානි වී ඇති අතර රිදිමාලියද්ද කුරාලේවෙල ගම්මානයේ නිවාස දෙකකට අකුණු සැර වැදී විදුලි මීටර් පෙට්ටිවලට හානි සිදු වී ඇති බවට වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් ඩි.ඩි.එස්. තක්ෂිලා ගුණරත්න මහත්මියගෙන් විමසු විට ඇය කියා සිටියේ ග්‍රාම නිලධාරින් හරහා තමන්ට තොරතුරු ලැබී ඇති බවත් හානියට පත් නිවාස ගැන සොයා බැලීමට නිලධාරින් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට යවා ඇති බවයි.
බදුල්ල දකුණ සමුහ-විමුක්ති සංජය පෙරේරා