කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති, ශ්‍රී ඥානේෂ්වර පිරිවෙන් පරිවේණාධිපති, ආචාර්ය පණ්ඩිත අපගේ පොඩි හාමුදුරුවන් වහන්සේ දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක සේවාවෙහි නිරත වූ සිල්වත්, ගුණවත් භික්ෂු පිරිසක් බිහි කළ උතුම් සංඝයා වහන්සේ නමකි.
සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂා දැනුමෙන් විශ්ව කීර්තියට පත් ගංගොඩවිල විශ්වවිද්‍යාලයේ උසස්ම සාමාර්ථයක් ලබාගත් මා ගලබොඩ ඥානිස්සර හිමියන් යටතේ ඥානේස්වර පිරිවෙනෙහි ප්‍රාචීන මධ්‍ය අවසානය දක්වා අධ්‍යාපනය හැදෑරුවා. අපූර්ව වාග් ශක්තියෙන්, ගැඹුරු භාෂා ඥානයෙන් සෑම ශිෂ්‍ය භික්ෂුනමකට මෙන්ම තරුණ ශිෂ්‍යයන්ට ඉතාමත් සරල බසින් ගැඹුරු ධර්මය ඉතා ලිහිල්ව කියා දීමේ දක්ෂතාවක් උන් වහන්සේ සතු විය.
හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානාධිපති තනතුරෙන් පිදුම් ලැබූ ගලබොඩ ඥානිස්සර නායක හිමියෝ දකුණු පළාතම බැබළ වූ සංඝ පීතෘන් වහන්සේලාගේ ගුණ ඇති සංඝයා වහන්සේ නමකි. භික්ෂුවක් සතු උජුපටිපන්න ගුණයෙන් නොඅඩුව සපිරි උන්වහන්සේ ඕනෑම කෙනෙක් ඉදිරියේ නොබියව, නොපැකිළිව තම මතය ඉදිරිපත් කිරීමට සමත් වූහ.
අප හාමුදුරුවන් වහන්සේ සෑම පළාතකින්ම පැමිණි පොඩි හාමුදුරුවරුන්ට ධර්ම අධ්‍යාපනය දීම මෙන්ම දුප්පත් අසරණ දරුවන්ට කාර්මික විද්‍යාල හරහා විවිධ කර්මාන්ත උගන්වා රැකියා සඳහා මංපෙත් විවර කර දුන්හ. එසේම දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දීමට ද කටයුතු කළහ. ගංගාරාම විහාරස්ථානයේ ඥානේස්වර පිරිවෙනේ අධ්‍යාපනය ලත් ශිෂ්‍යයෝ අද වන විට රට, දැය වෙනුවෙන් විශාල සේවයක් කරති.
ක්‍රියාශීලී දක්ෂ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න විසඳා දීමටත් ගලබොඩ ඥානිස්සර පොඩි හාමුදුරුවන් වහන්සේ නිබඳවම වෙහෙසුණහ. තම ගෝල බාලයන්ට පමණක් නොව විවිධ ආරණ්‍ය සේනාසන, අසපු, භාවනා මධ්‍යස්ථාන ආදියෙහි වැඩ වසන භික්ෂූන් වහන්සේලා ගැන ද කටයුතු කිරීම උන්වහන්සේගේ සිරිත විය. බේරේ වැව ඉතා රමණීයව සකස් කර එහි විශාල ධර්ම ශාලාවක් ඉදිකර විවේකීව ඉගැන්වීම් කටයුතු සිදු කරලීමට අවස්ථාව දුන්හ.
දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා උදෙසා පොඩි හාමුදුරුවන් වහන්සේ කළ සේවාව අද අස්සජි ස්වාමීන් වහන්සේ ඒ අයුරින්ම සිදු කිරීම මහත් වූ භාග්‍යයකි. කොළඹ නවම් පෙරහර ආරම්භ කිරීම ගලබොඩ ඥානිස්සර නාහිමියන් සිදු කළ උදාර සේවාවකි. වාර්ෂිකව පවත්වන මේ පෙරහර දෙස් විදෙස් සැමගේ සිත් ප්‍රබෝධවත් කරන වටිනාම කර්තව්‍යයක් බව පැවසිය යුතුය. උන් වහන්සේ සිදු කළ සමාජ, ආගමික, ජාතික සේවා ඒ අයුරින්ම සිදු කිරීමට උතුම් උගත් ශිෂ්‍ය පරපුරක් බිහි කර ඇත. පොඩි හාමුදුරුවන්ට නිවන් සුව අත්වේවා.