Tuesday, May 13, 2025
Home » එළවළු ගොවීන් 3476කට කටාර් චැරිටි සංවිධානයෙන් නොමිලේ පොහොර

එළවළු ගොවීන් 3476කට කටාර් චැරිටි සංවිධානයෙන් නොමිලේ පොහොර

by sachintha
August 6, 2024 1:58 am 0 comment

කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එළවළු වගාවේ නිරත වන අඩු ආදායම්ලාභී පවුල්වල ගොවීන් 3476කට කටාර් චැරිටි සංවිධානය විසින් යුරියා, මඩ‌ පොහොර සහ බණ්ඩි පොහොර නොමිලේ දීමට කටයුතු යොදා ඇත.

මේ පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට භාර දීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

අප රටේ ආහාර සුරක්ෂිතතාව සැලකිල්ලට ගනිමින් කටාර් චැරිටී ආයතනය මේ පියවර ගෙන ඇති අතර, මේ වැඩසටහන යටතේ කුරුණෑගල ගොවීන් 1476ක්, මාතලේ ගොවීන් 1000ක් සහ මොණරාගල ගොවීන් 1000කට වශයෙන් එළවළු වගාවට මේ පොහොර නොමිලේ දීමට නියමිතය.

මේ යටතේ එක් ගොවියකුට යුරියා, මඩ පොහොර සහ බණ්ඩි පොහොර කිලෝ ග්‍රෑම් 25ක පොහොර මිටියක් බැගින් දීමට කටයුතු යොදා තිබේ.

මේ අවස්ථාවට සහභාගි වූ ඇමැතිවරයා මෙලෙස අදහස් දැක්වීය.

“පසුගිය කාලයේ වී, තේ, පොල්, කුරුඳු ආදි වගාවන් සඳහා පොහොර සහනාධාර දුන්නත් එළවළු ගොවීන්ට පොහොර සහනාධාර දීමට නොහැකි වුණා. රටේ ඇති මුදල් තත්ත්වය යහපත් නොවීම එයට හේතු වූණා. කටාර් චැරිටි සංවිධානය එළවළු වගා කරන ගොවීන් යම් ප්‍රමාණයකට නොමිලේ පොහොර දීමට ඉදිරිපත් වීම අගය කරනවා. මේ සංවිධානය තුළ ක්‍රියාත්මක වන්නේ කටාර් රාජ්‍යයේ ජනතාවගේ මුදල්. අපේ රටේ ආහාර සුරක්ෂිතතාවට මෙවැනි පරිත්‍යාගයක් සිදු කළ කටාර් රජයට මෙන්ම කටාර් චැරිටි ආයතනයට ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පළ කරනවා.”

මේ අවස්ථාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත්, කටාර් චැරිටි ආයතනයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ මොහම්මඩ් එස්. එම්. අබුකලිෆ් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT