Friday, May 16, 2025
Home » කුරුණෑගල R3F සමාගමේ අධ්‍යක්ෂවරු තිදෙනෙක් රිමාන්ඩ්
රුපියල් කෝටි 500ක වංචාව

කුරුණෑගල R3F සමාගමේ අධ්‍යක්ෂවරු තිදෙනෙක් රිමාන්ඩ්

by sachintha
August 6, 2024 12:15 am 0 comment

රුපියල් කෝටි 500කට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල “රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්” නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තිදෙනකු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (05) නියෝග කළේය. ඊට අදාළ සිද්ධියට තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ “R3F” පිරමීඩාකාර සමාගමේ මෘදුකාංගය නිර්මාණය කළ නාගොල්ලාගම පදිංචි සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මධුසංක අත්තනායක, කුලියාපිටියේ ඩී.පී රෝහිනි සහ ඩබ්ලිව්.එම්. නිමල් ශාන්ත සැකකරුවන්ය. නිමල් රත්න ජයසිංහ සහ අයි.එම් අජන්ත යන සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කළ බව සඳහන් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වර්තා කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පිරමීඩාකාර ගනුදෙනු විමර්ශනය කරන ඒකකය මඟිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යාක්ෂවරයා විසින් පොලිස්පතිවරයාට කරනු ලැබූ පැමිණිල්ලෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස්පතිවරයා මඟින් තම දෙපාර්තමේන්තුවට ලැබුණු බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය කරුණු වර්තා කර ඇත.

කුරුණෑගල මහව නාගොල්ලාගම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම පිරමීඩාකාර ගනුදෙනු සිදු කරන සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ගනුදෙනු සිදු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පහළොස්දෙනකු පමණ තම කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබාදී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සමාගමේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවගේ මුදල් ඇති බවට ද කරුණු අනාවරණය වී ඇති අතර මේ වන විට මෙම පිරමීඩාකාර ගනුදෙනුවල යොදවා ඇති මුදල රුපියල් කෝටි 500කට අධික බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

භාග්‍යා සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT