Friday, May 16, 2025
Home » අයිතිවාසිකම් පෙත්සම් 9ක් නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරයි

අයිතිවාසිකම් පෙත්සම් 9ක් නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරයි

by sachintha
August 6, 2024 12:17 am 0 comment

විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් මීට වසර පහකට පමණ ඉහතදී ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 9කට අදාළව කරුණු තහවුරු කිරීමට කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව එම පෙත්සම්කාර පර්ශ්වයන් දැඩි දෝෂදර්ශනයට ලක් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් සියල්ල රුපියල් දහදහස (10,000) බැගින් වූ නඩු ගාස්තුවකට යටත්ව ඊයේ (05) නිෂ්ප්‍රභ කළේය.

අදාළ නඩු ගාස්තු ඊයේ (05) සිට මාසයක් තුළ ගෙවිය යුතු බවට නියම කෙරිණි.

2019 වසරේ සිට මේ වන තෙක්ම පෙත්සම්කාර පාර්ශ්වයන් මඟින් කරුණු තහවුරු කිරීමට පියවර නොගැනීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නිකුත් කරනු ලැබූ නොතීසි මත එම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි. එස්. තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල දීර්ඝ කාලයකට පෙර ගොනු කර තිබූ බව අධිකරණය හමුවේ අනාවරණය විය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියහ. එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු තුරෙයි රාජා මහතා සඳහන් කළේ මෙම පෙත්සම් ගොනු කිරීමෙන් පසුව ඊට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වය මඟින් කිසිදු පියවරක් ගෙන නැති බවය.

මෙලෙස කටයුතු කිරීම නරක ප්‍රවණතාවක් බව ද එය කිසිසේත් අනුමත කළ නොහැකි බව ද විනිසුරුවරයා සඳහන් කළේය. ඒ අනුව අදාළ පෙත්සම් සියල්ල ගාස්තුවට යටත් කොට නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඬුල්ල මඟින් නියෝග කරන ලදි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT