ශ්‍රී ලාංකික ධීවරයන් නවදෙනකු රැගත් බ්ලූ ඕෂන් 02 සහ බ්ලූ ඕෂන් 06 ධීවර යාත්‍රා දෙක සීෂෙල්ස් සිට කිලෝමීටර 300ක් පමණ ඔබ්බෙන් ඉන්දියන් සාගරයේදී අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ. මෙම යාත්‍රා ජුනි 30 වැනි දින දික්ඕවිට වරායෙන් පිටත්ව ගොස් ඇති අතර ඒවා විදෙස්ගතව සිටින ව්‍යාපාරිකයකුට අයත් බවත් සඳහන්ය. සෝමාලියා මුහුදු කලාපයේදී කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙම යාත්‍රාවේ ධීවරයන් ආහාර, ජලය හෝ ඉන්ධන නැතිව පීඩාවට පත්ව සිටි අතර එම ධීවරයන් 09 දෙනා මුදා ගැනීමට සීෂෙල්ස්හි ධීවර යාත්‍රාවක් යොදා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය ආහාර හා අත්‍යවශ්‍ය පහසුකම් සැපැයීමට කටයුතු සිදු කර ඇතැයි වාර්තා වූ බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
එම යාත්‍රා ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඒවා නොවන බවත් එසේ වුවද එම යාත්‍රාවේ ගමන්ගත් මෙරට ධීවරයන්ගේ පවුලේ සාමාජිකයන් ධීවර අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් මත අදාළ ධීවරයන් මුදා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ බලධාරීන්ට දැනුම් දුන් බවත් එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘දිනමිණට’ පැවසීය.
බුද්ධිකා ඉඹුලාන