Home » අපේ රටට අවශ්‍ය නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තිබෙන නායකයෙක්

අපේ රටට අවශ්‍ය නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තිබෙන නායකයෙක්

-නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර

by sachintha
August 6, 2024 1:31 am 0 comment

අද අපේ රටට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර සබඳතා ඉතා හොඳින් කළමනාකරණය කළ හැකි නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තිබෙන නායකයෙක් බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය.

මේ නිසා තව දින 48කින් පවත්වන ජනාධිපතිවරණය අපේ රටට ඉතා තීරණාත්මක බවත් හෙතෙම කීවේය.

රත්නපුරයේ පැවති “නොකළ යුත්තේ කුමක් ද” සම්මන්ත්‍රණයේදී ඒ මහතා මේ බව පැවසීය.

ආර්ථික අර්බුදය හමුවේ ජාතිකවාදී ව්‍යාපාරවල හිටපු අපේ භූමිකාව මොකක්දැයි ජනතාවට පැහැදිලිව කියා මේ මොහොතේ රට වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද කියලා සමාජ කතිකාවතක් ඇති කරන්න තමයි අපි මේ රටපුරා සම්මන්ත්‍රණ සංවිධාන කරමින් යන්නේ යැයිද කීවේය.

එහිදී ඒ මහතා මෙසේද කීවේය.

අද ඉඳලා ගත්තොත් ජනාධිපතිවරණයට හරියටම තිබෙන්නේ දවස් 48යි. මේ වෙලාවේ ලෝක දේශපාලනයේ අලුත් ප්‍රවණතාවක් ඇති වන මොහොතක්. අද වෙනවිට හමාස් දේශපාලන නායකයා ඉස්මයිල් හනියේ ඉරානයේ දී ඝාතනය වීමත් එක්ක ඉරානය, ඊශ්‍රායලයට පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්න මොහොතක්. මුළු මැද පෙරදිගම යුද බියෙන් ඇළලී ගිහින්. සමහරවිට මේක තුන්වන ලෝක යුද්ධයක ආරම්භය වෙන්නත් පුළුවන් කියලා හිතෙනවා. එහෙම යුද්ධයක් ඇතිවුණොත් ඒක අපට සෘජුවම බලපානවා. බොරතෙල් මිල, මැදපෙරදිග අපේ ශ්‍රමිකයන්ගේ රැකියා, කෙටියෙන් කිව්වොත් නැවත වතාවක් අපේ රටේ ආර්ථික අර්බුදයක් එන්න පුළුවන් ඉඩකඩක් තිබෙනවා.

ඒ වගේම තමයි තව දවස් හැත්තෑවකින් හෝ අසූවකින් අමෙරිකාවේ ජනාධිපතිවරණය එනවා. මේ වෙනවිට සමීක්ෂණ වාර්තාවලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් කමලා හැරිස් මහත්මිය ඉදිරියෙන් ඉන්නවා. ඉන්දියානු ජාතික සම්භවයක් තිබෙන කමලා හැරිස් මහත්මිය බලයට ඇවිත් ජනාධිපති වුණොත් භූ දේශපාලනයේ අපි ටිකක් අවාසිදායක, තීරණාත්මකත තත්ත්වයකට පත්වෙනවා. එහෙම අවස්ථාවකදී අපට ඕනෑ වෙනවා හොඳට ජාත්‍යන්තර සබඳතා කළමනාකරණය කරන්න පුළුවන් හොඳ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තිබෙන නායකයෙක්. ඒ නිසා අතීතයේ පැවති ජනාධිපතිවරණ වගේ නෙවෙයි දවස් 48කින් එන ජනාධිපතිවරණය අපේ රටට තීරණාත්මකයි.

අපි දැක්කා මීට අවුරුදු දෙකකට කලින් මේ රටේ තිබුණු තත්ත්වය. තෙල් තිබුණේ නෑ. විදුලිය තිබුණේ නෑ. අපේ හිටපු නායකයන්ට ඒක කළමනාකරණය කරගන්න බැරිවුණා. හැබැයි මහින්ද ජනාධිපති 2022, මැයි මාසේ 9 වැනිදා රෑ 7.11ට ඉල්ලා අස්වුණාට පස්සේ මගේ නායකයා වුණු ගෝඨාභය රාජපක්ෂ මහතා මුලින්ම දුරකතනයෙන් කතා කර මේ රට භාරගන්න කියා ආරාධනය කළේ විපක්ෂ නායකතුමාට. ගෝඨාභය ජනාධිපති පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැක්කා. හැබැයි 10 වැනිදා හවස 6.32 විපක්ෂ නායකතුමා සාකච්ඡාවලට ආවේ නෑ. ඒ වෙනුවට එරාන්, කබීර්, හර්ෂ මන්ත්‍රීවරු එවලා කතා කළේ ගෝඨාභය ජනාධිපති ඉල්ලා අස්වෙන දවස ගැන. සාකච්ඡාව දික් ගැස්සෙන විට ගෝඨාභය ජනාධිපති කිව්වා. මම ඉල්ලා අස්වෙලා යන්න සූදානම් ඒක මම ලිඛිතව දීලා යන්නම් මේ අර්බුදය කළමනාකරණය කරන විදිය කියන්න.

ඒ නිසා තමයි අපි ජාතිකවාදී කඳවුරේ ඉඳලා ඇවිත් මේ විදිහට ජනතාව දැනුම්වත් කරන්නේ. අපට අපේ රට වටිනවා. මේ වෙලාවේ අපට සෙල්ලම් කරන්න තිබෙන්නේ T20යක් දවස් 48යි. ඔබ විශ්වාස කරන්න. තව දවස් 48කින් රටේ නව වැනි විධායක ජනාධිපති පත්වෙනවා. ඒ වෙනුවෙන් සබරගමු පුරවරයේ ඔබට අපි ආරාධනා කරනවා. අපි එකතු වෙමු. බොරුකාරයන්, කයිවාරුකාරයන් වෙනුවට අපේ රට සියලු පැතිවලින් බලගන්වලා, ශක්තිමත් ආර්ථිකයක් අපරාජිත රටක් ගොඩනඟන රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති කරමු කියා ඉල්ලා සිටිනවායැයි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමායා රන්දුනු සහ කේ. ඒ. සුනිල්කුරුවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT