Home » වසර දෙකකදී රට ගොඩගන්න පුළුවන් වුණේ ජනපති රනිල්ගේ පරිණත දේශපාලන අත්දැකීම් නිසයි

වසර දෙකකදී රට ගොඩගන්න පුළුවන් වුණේ ජනපති රනිල්ගේ පරිණත දේශපාලන අත්දැකීම් නිසයි

-පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

by sachintha
August 6, 2024 1:32 am 0 comment

පාර්ලිමේන්තුවේ වසර 42ක පළපුරුද්දක් ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිසා තමයි වැටුණු රට වසර දෙකක් වැනි කෙටි කාලයකදී යථා තත්ත්වයට ගත හැකි වුණේ යැයි එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල එජාප ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (04) පැවති තරුණ සමුළුව හා කාන්තා සමුළුවට එක්ව අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.

අපි ආරම්භ කර තිබෙන තරුණ එකමුතුව හරහා අපේ තරුණ ව්‍යාපාරයේ ඉන්න සියලු දෙනා මුණ ගැහිලා දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, ආගමික වශයෙන් ඔවුන් සන්නද්ධ කළ යුත්තේ කෙසේද කියා කතිකා කරගත්තා. මේ රටේ පහුගිය අවුරුදුවල තිබුණු ආර්ථික අර්බුදය නිසා අපේ රටේ තරුණ පරපුර සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. ඇතැම් තරුණයන් මේ රට අත හැරියා. නමුත් තවදුරටත් එය එසේ විය නොහැකියි. අපි මේ රට නව දිශානතියකට අරගෙන යා යුතුයි. එයට තරුණ ප්‍රජාවේ අදහස් හා යෝජනා අනිවාර්යයි. මේ රට බංකොලොත් වෙලා වසර දෙකක කාල සීමාවේදී අවුරුදු 42ක පාර්ලිමේන්තුවේ පළපුරුද්දක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහතා නිසා මේ තරම් ඉක්මනට රට යථා තත්ත්වයට ගන්න හැකි වුණා. නමුත් තවමත් වැඩේ අවසන් නැහැ.

දේශපාලන පක්ෂ හිතුමතේට බොරු කියන එක නැවැත්විය යුතුයි. රටේත් ජනතාවගේත් ආරක්ෂාවට දේශපාලන පක්ෂ හා ඒවායේ නියෝජිතයන් සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් වී කටයුතු කළ යුතුයි. අද සමහර අය කියනවා ජනාධිපති පක්ෂ කඩනවා කියලා. නමුත් ජනාධිපති මේ රට භාරගත්තේම ඔය කියන පක්ෂ කැඩිලා තිබුණු අවස්ථාවකයි. රට භාරගත්තට පස්සේ ජනපති කිව්වේ කඩා වැටුණු පක්ෂ ශක්තිමත් කරන්න, තම තමන්ගේ වෙනස්කම් එසේම තබා ගනිමින් රට නමැති න්‍යාය පත්‍රයට හානි නොකර රටේ ජාතික ප්‍රතිපත්ති රාමුව සමඟ එකට වැඩ කරමු කියලයි.

රනිල් වික්‍රමසිංහ නමැති මේ යුගයේ පහළ වුණු ජාතික නායකයා ස්වාධීනවයි තරග කරන්නේ.

සියලුදෙනා ඒකරාශි කරගෙන ඉදිරියට යෑමෙන් පමණයි මේ රටේ සිටින තරුණ පරම්පරාවට අනාගතයක් තිබෙන්නේ. දැන් අද වනවිට විනය පරීක්ෂණ ගැන විවිධ කතා පළ වෙනවා. මම නම් හිතන්නේ නෑ යමක් කමක් තේරෙන දේශපාලන පක්ෂයක් එලෙස ක්‍රියා කරයි කියලා. ජාතික වශයෙන් ත්‍රස්තවාදය පාලනය කිරීමේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ තිබුණු බහුතරය නැති වෙන්න ගියා. ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයෙන් 17 දෙනෙක් ගිහින් ජාතියේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී හිටියා. ඒ අයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය විනය පරීක්ෂණ පැවැත්වුවේ නැහැ. ජාතික අවශ්‍යතාවකට පෙනී සිටින ව්‍යාපාරයකට කවුරුහරි වෙනත් කාරණයක් කරන්න ගියොත් ඒ කාරණය කරන්න යන කණ්ඩායම අමාරුවේ වැටෙයි. සාමාන්‍යයෙන් රටක් වැටෙනකොට විරුද්ධ පක්ෂය සූදානමින් ඉන්න ඕනෑ ඒ වැටෙන රට භාරගන්න. නමුත් අවාසනාවකට අපේ රටේ විරුද්ධ පක්ෂය හැංගුණා.

තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන සාලිය ද සිල්වා මහතා –

ජනතාව නුසුදුසු පුද්ගලයෙක් රටේ පාලනයට පත් කළහොත් ඉන් වැඩිම බලපෑම වන්නේ මේ රටේ තරුණ පරම්පරාවටයි. එසේම පහුගිය කාලයේදී අපේ රටේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මේ රට අතහැර විදේශීය රැකියාවලට ගියා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. රටේ තරුණ තරුණියන්ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ වැඩපිළිවෙළ ගැන හොඳ විශ්වාසයක් ඇති වී තිබෙනවා. එය ඇත්තටම හොඳ කාරණයක්. මොකද බුද්ධිගලනය නැවැත්වීම අපි වගේ රටකට ඉතා වැදගත්. මේ වනවිට ජාත්‍යන්තරයේ පැන නැඟී තිබෙන යුදමය වාතාවරණය සමස්ත ලෝකයටම බලපානවා.

මහා සංඝරත්නය, හිටපු රාජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම, එජාපයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු සංවිධායකවරුන්, හිටපු පළාත් පාලන නියෝජිතවරුන්, තරුණ තරුණියන්, කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT