රාජ කුමාරවරු මේ රටේ නායකයන් කිරීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරු තවදුරටත් සූදානම් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා බකමූණ නගරයේ පැවැති ජන හමුවකදී පැවසීය.
එජාප බකමූණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. හැරිසන් හා උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මෙහිදී අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා තම අදහස් මෙසේ දක්වා සිටියේය.
මේ රටේ තවදුරටත් පක්ෂ දේශපාලනය නෑ. පක්ෂ දේශපාලනය තිබුණා නම් මේ රටේ අගමැති වෙන්නත් ජනාධිපති වෙන්නත් රනිල් වික්‍රමසිංහට බෑ. ඒ නිසා රාජපක්ෂවරු ඇරුණාම පොහොට්ටුවේ මන්ත්‍රීවරු 130ක පිරිසක් රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන්න මේ වනවිට ඉදිරිපත් වෙලා ඉන්නවා.
මේ වනවිට සජිත් ප්‍රේමදාසත් රාජපක්ෂ පවුලත් එකතු වෙලා සිදු කළ කුමන්ත්‍රණයක් එළිවෙලා තිබෙනවා. සජිත් ප්‍රේමදාසත්, බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ එකතුවෙලා රනිල් වික්‍රමසිංහ මහතා නැවත බලයට එන එක නවත්වන්න තමයි මේ කුමන්ත්‍රණය කර තිබෙන්නේ. ඒ නිසා ඒ කුමන්ත්‍රණවලින් රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වෙන එක වළක්වන්න බෑ. මේ වන විට පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම මේ රටේ පක්ෂ ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කරන්න එකතු වෙලා ඉවරයි. ඒ නිසා කුමාරවරු රජ කරන්න තවදුරටත් මේ රටේ ජනතාව සූදානම් නෑ. ඒ නිසා මේ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් රනිල් වික්‍රමසිංහ මහතා ලබනවා. ඒක කාටවත් වළක්වන්න බෑ.
උතුරු මැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා –
මේ රට බංකොලොත් වෙලා රට අරාජික වෙලා තිබුණු වෙලාවක මේ රට භාරගන්න කියා කියපු වෙලාවේ මේ රට භාරගන්න කියපු වෙලාවේ කිසිම කෙනෙක් භාරගත්ත නැති වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාරගෙන අද රට ඉදිරියට ගෙනත් තිබෙන්නේ. එදා පක්ෂවලට බෙදිලා කළ දේශපාලනයක් තමයි රටේ තිබුණේ. අපි පක්ෂවලට බෙදිලා ගහ මරා ගන්නවා වෙනුවට සියලු පක්ෂ එකතු කරගෙන මේ රට ගොඩගන්න පුළුවන් ක්‍රමයක් හැදුවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
ඇළහැර සරත් වෙලගෙදර