ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල පැවරීම සම්බන්ධයෙන් ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘රට වටා මාධ්‍යවේදීයෝ සංවිධානය’ විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඊයේ (6) සංවිධානය කර තිබූ ‘ගෞරවාර්ථ හරසර’ වැඩසටහනට එක් වෙමිනි.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු සහ යෝජනා ඇතුළත් යෝජනාවලියක්ද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:
“ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් අද සිය සේවා කොන්දේසි පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. ඔවුන්ට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට නීතිමය අවස්ථාවක් නැති බවත් මෙහිදී සඳහන් වුණා. තමන්ගේ ප්‍රශ්න හා පැමිණිලි ඉදිරිපත් කිරීමට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටද ස්ථානයක් අවශ්‍යයි. පුවත්පත් මණ්ඩලය වෙනුවට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට යෝජනා ඉදිරිපත්ව තිබෙනවා. ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සිටින්නේ රැකියා ගිවිසුමක නොවෙයි; සාමාන්‍ය ගිවිසුමක. ඒ නිසා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ පැමිණිලි පිළිබඳ සොයා බැලීමට බලතල දිය යුතුව තිබෙනවා. ඉදිරි පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කිරිමට අප බලාපොරොත්තු වෙනවා.
“මීට වසර දෙකකට පෙර මේ රට භාර ගන්නා විට, රට මුහුණ දී තිබු අර්බුදය වසර දෙකක් තුළ විසඳාගැනීමට හැකි වනු ඇති බවට විශ්වාසයක් මා තුළ තිබුණා. ඒ කටයුත්ත මා ඉටු කර තිබෙනවා. අද රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගෙන ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. එහි දෙවැනි පියවර වන්නේ අප ගත යුතු ඉදිරි පියවර කුමක්ද යන්නයි. අප ඉදිරියට යනවාද? නැත් නම් රටක් වශයෙන් නැවතත් ඇදවැටෙනවාද? කියා තීරණය කළ යුතුයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එකඟතාවකට එළඹ තිබෙනවා. ඒ කොන්දෙසි ඉවත් කිරීමට කිසිවකුට හැකියාවක් නැහැ. ඒ කොන්දේසි වෙනස් කරන්න ගියොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉන් ඉවත් වනවා. එවිට අපේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමි වෙනවා. ඒ නිසා අප යන මාර්ගය තීරණය කළ යුතුයි. මගේ අදහස ඒ තීරණය රටට භාර දීමයි.
“මට කිසි දිනක මැතිවරණය කල් දැමීමට අවශ්‍ය වුණේ නැහැ. මැතිවරණ කල් දානවා කියා ඇතැමුන් කෑගැහුවා. බලය දෙන විට පැන යන විට මැතිවරණ පවත්වා වැඩක් නැහැ. ජනාධිපතිකම, අගමැතිකම දෙන්න හදන විට පැනලා ගියා. රටේ ප්‍රශ්න විසඳන්න බැහැ කිව්වා. මැතිවරණයක් පැවත්වීමෙන් පසුවත් අපට කරන්න බැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? මෙය අලුත් දේශපාලන ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා.
“අද මේ රටේ දේශපාලන ක්‍රමය කඩාවැටී තිබෙනවා. ආර්ථිකය බිඳවැටෙන විට ආර්ථිකයට සහය දුන් දේශපාලන ක්‍රමයත් බිඳවැටුණා. සෝවියට් දේශයේ ආර්ථිකය කැඩුණු විට දේශපාලන ක්‍රමයත් කැඩුණා; ඉන් පසු සෝවියට් සංගමයත් කැඩුණා. චීනය ඊට පෙර ආර්ථික සංශෝධන ගෙනාවා. ඕනෑම රටක ආර්ථික ක්‍රමය කැඩුණු විට දේශපාලන ක්‍රමය කැඩී යනවා. මොකද: ආර්ථික ක්‍රමය සහ දේශපාලන ක්‍රමය අත්වැල් බැඳගෙනයි ඉදිරියට යන්නේ. දේශපාලන පොරොන්දු දීම සහ ණය ගෙන ඒ පොරොන්දු ඉටු කිරීම එකට බැඳී තිබෙනවා. රට විකුණන දේශපාලනයෙන් රටේ ආර්ථිකය නැති කළා. මුළු නැගෙනහිර යුරෝපයේම කොමියුනිස්ට් රටවල් කැඩුණේ මේ නිසයි. අපේ රටේත් ආර්ථික ක්‍රමය කැඩී යන විට දේශපාලන ක්‍රමය කැඩුණු බව අප අමතක නොකළ යුතුයි. අද බංග්ලාදේශයේ කවුද ආණ්ඩු හදන්නේ? ඒ ප්‍රශ්නය ඉක්මනින් විසඳෙනු ඇතැයි මා බලාපොරොත්තු වනවා. මාසයක් ගත වුණත් අප බංග්ලාදේශය ගැන විශ්වාසය අත්හරින්න හොඳ නැහැ. අප බංග්ලාදේශය සමඟ සිටිමින් ඔවුන්ට උපකාර කළ යුතුයි.
“රටක දේශපාලන ක්‍රමය කැඩුණ විට එය එකට එක් කිරීම ලෙහෙසි නැහැ. අපේ දේශපාලන ක්‍රමය කැඩී තිබෙන බව අප පිළිගත යුතුයි. අද පොදුජන පෙරමුණේ වැඩි පිරිසක් මා සමඟ සිටින අතර සුළු පිරිස සමගි ජන බලවේගය සමඟ සිටිනවා. ජනාධිපතිවරයා පත් කරගැනීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ඡන්දය දෙන්නේ නැතිව පොදුජන පෙරමුණෙන් පැමිණි අපේක්ෂකයාට ඡන්දය දුන්නා. ද්‍රවිඩ පක්ෂ කැඩිලා. මේ සියලු දේශපාලන පක්ෂ කැඩිලා. අද අපේ රටේ නියම පක්ෂ ක්‍රමයක් නැහැ.
“සිවිල් සමාජය සමඟ යනවාද? පැරණි ජනතා විමුක්ති පෙරමුණ සමඟ යනවාද? කියා තීරණය කළ නොහැකිව අද ජනතා විමුක්ති පෙරමුණ බෙදී තිබෙනවා. අද ජනතා විමුක්ති පෙරමුණ තුළ ලෙනින් නැහැ; ස්ටාලින් නැහැ. එහි ඉතිරිව සිටින්නේ විජේවීර පමණයි. විජේවීර නැතිව ලෙනින් සහ ස්ටාලින් සිටියා නම් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. අඩුම තරමින් මාක්ස් හිටියා නම් කමක් නැහැ. අද මාක්ස් සහ ලෙනින් ඉවත් කර විජේවීර දාලා තිබෙනවා. මේ විදියට තමයි අද දේශපාලන ක්‍රමය ඉදිරියට යන්නේ.
“රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යෑමට නම් වගකිව යුතු පක්ෂවලින් සමන්විත නව දේශපාලන ක්‍රමයක්ද ඇති කළ යුතුයි. ඒ නිසයි මෙවර ජනාධිපතිවරණයට මා ස්වාධීනව ඉදිරිපත්වීමට තීරණය කළේ. එදා මා තනිවම ආණ්ඩුවක් ගොඩනැඟුවේ මේ රට බේරාගැනීමට හැකි බව මා විශ්වාස කළ නිසයි. තනි ආසනයක් තිබෙන මන්ත්‍රීවරයකු ජනාධිපති වුණේ කොයි රටේද? ඒ නිසා මම ගිනස් වාර්තාවට ඇතුළත් වෙනවා. නව දේශපාලන ක්‍රමයක් නැතිව මේ රටේ ආර්ථිකයට ඉදිරියට ගෙන යන්න බැහැ.
“අපට පසුගිය කාලයේ අසීරු තීරණ ගැනීමට සිදු වුණා. අප පසුගිය වසර එක හමාරේදී අමාත්‍යාංශවලට දෙන මුදල් සීමා කළා. දැන් මේ රටේ ආර්ථිකය නැවත හිස ඔසවමින් තිබෙනවා. අපට දැන් ක්‍රමයෙන් ජනතාව සහන සලසා දීමට හැකියාව තිබෙනවා. මේ සියලු දෙනා දුක් වින්දා. තවමත් දුක් විඳිනවා. ඒ නිසා ජනතාව මේ දුකින් නිදහස් කරගත යුතුයි. ඒ නිසා අප අලුතින් සිතා අලුත් පක්ෂ ක්‍රමයක් යටතේ අලුත් ගමනක් යෑමට කටයුතු කළ යුතුයි.”
කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා:
“මාධ්‍යවේදීන් මේ රටේ දියුණුව වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. ඒත් පසුගිය කාලයේ මේ රට මුහුණ දුන් තත්ත්වය ඔබ දුටුවා. ඒ ආකාරයේ සිදුවීම් මාලාවක් අද අපි බංග්ලාදේශයේ දකින්නේ. ඒත් ශ්‍රී ලංකාවේ පැවති එම අරගල අවස්ථාව එක තුවක්කුවක්වත් භාවිත නොකර පාලනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වුණා. එදා ජනතාව ඉල්ලුවේ ජීවත් වීම සඳහා ඉන්ධන, ගෑස් හා ඖෂධ දෙන ලෙසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු කළා. එම කාලවකවානුවේ ඔබේ ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට අපට හැකියාවක් නොලැබීම පිළිබඳ කනගාටු වෙනවා.
“ඔබ ඉදිරිපත් කළ කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මාධ්‍යවේදීන් ආවරණය කිරීම සඳහා නව පනතක් සකස් කරමින් සිටිනවා. එහිදී ඔබතුමන්ලාගේ වෘත්තීය ගරුත්වය සහ අයිතිවාසිකම් ලබාදීමට අවස්ථාව සැලසී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී ඔබ වෙනුවෙන් රක්ෂණාවරණයක් දීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට බලාපොරොත්තු වනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට විශ්‍රාම වැටුපක් දීමටත් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ආයතනයකින් ඉවත් කළ හොත් ඔවුන්ට මාස 3ක කාලයක් වන්දි දීමට කටයුතු කරනවා. මේ පනත සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත වී තිබෙනවා. එය මේ වන විටත් නීතිපති වෙත යොමු කර තිබෙනවා.”
ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා:
“මාධ්‍යවේදීන් විශාල දුෂ්කරතා මැද තම මෙහෙය ඉටු කරනවා. මේ රටේ තිබෙන සියලු මුද්‍රිත හා විදත් මාධ්‍ය රඳා පවතින්නේ ඔබේ දාඩිය මහන්සිය මතයි. මේ මාධ්‍යවේදීන්ට රක්ෂණයක් නැති බව අප දන්නවා. ඊළඟ අයවැය ඉදිරිපත් කරන විට මාධ්‍යවේදීන්ට රක්ෂණාවරණයක් දීමට රුපියල් මිලියන 100ක් වෙන් කරන බව කිව යුතුයි. ඒ අයවැය ඉදිරිපත් කරන්නෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාමයි. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය උපකරණ ගැනීමට ඉදිරියේදී මුදල් වෙන් කරනවා. පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය නිසා මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකියාව තිබුණේ නැහැ. එදා රට භාර ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණෙත් නෑ. අද බංග්ලාදේශයට වී තිබෙන තත්ත්වය ඔබ දකින්න ඇති. එදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොවුණා නම් අද මේ රට බලා ගන්න වෙන්නෙ හමුදාපතිවරයෙක් යටතේයි. ආර්ථිකය පරිවර්තනය නීතිය හා මාධ්‍ය සම්බන්ධව පනත් ගෙන එද්දී සමහරු බිල්ලන් මැවුවා. ඒත් ඒවා අද වන විට පුස්සක් වී තිබෙනවා. ඉදිරියේදී ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සුරක්ෂිත කිරීමට රජයක් හැටියට කටයුතු කරනවා.”
‘රට වටා ජනමාධ්‍යවේදියෝ’ සංවිධානයේ සභාපති ජූඩ් සමන්ත මහතා:
“ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් අද මෙතැන සිටින්නේ පහෙන් එකක කොටසක් පමණයි. අනෙක් මාධ්‍යවේදීන් නොයෙක් සිදුවීම් සමඟ ජනතාවගේ තොරතුරු අයිතිය සුරැකීමට එක්ව සිටිනවා. මෙලෙස වගකීමෙන් යුතුකම් ඉටු කරන මාධ්‍යවේදීන්ට කම්කරු පනතින් ආවරණයක් නැහැ; ඒ වගේම ඔවුන්ට රක්ෂණ ආවරණයක් පවා නැහැ. මේ වන විට කම්කරු ඇමැතිවරයා කම්කරු පනතින් මාධ්‍යවේදීන්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට පොරොන්දු වී තිබෙනවා. එය ඉදිරියේදී සිදු වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පුහුණු වැඩසටහන් විශාල වශයෙන් පැවතුණා. ඒත් මේ වන විට එය නවතා දමා තිබෙනවා. ජනමාධ්‍යවේදීන්ට පුහුණුව දීමට මූල්‍ය පහසුකම් සලසා දෙනවා. එය නැවත අරඹන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.”
ඇමැති කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන වජිර අබේවර්ධන, ප්‍රේමනාත් සී. දොළවත්ත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.
චමීර ඇල්ලදෙණිය