Home » බංග්ලාදේශයෙන් හමු වූ ශ්‍රී ලංකාවේ කාබන් කොපිය

බංග්ලාදේශයෙන් හමු වූ ශ්‍රී ලංකාවේ කාබන් කොපිය

by sachintha
August 7, 2024 1:00 am 0 comment

මේ රටේ පැවති දේශපාලන අලකලංචියේ කාබන් කොපියම පෙරේදා බංග්ලාදේශයෙන් හමුවිය. වෙනස්කම් කිහිපයක් ඇත්තේ වුවද මූලික කතාව රචනා වී ඇත්තේ එකම පිටපතට බව කිව හැක්කේය. මේ රටේදී පළමුව අල්ලාගත්තේ ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයය. ඒ රටේදී රැකියා කෝටා ප්‍රශ්නයය. එහෙම අල්ලා ගන්නේ විසඳුම් සෙවීමේ අටියෙන් නොවේ. ආණ්ඩු පෙරළීම සඳහා පාදමක් කර ගැනීමටය. පෙරළී පෙරළි විසඳුම් ලබා දෙන්නේ වුවද අහවල් පිරිස වැඩේ අත් හරින්නේ නැත.

නැඟෙනහිර පාකිස්තානය ලෙස පැවති ප්‍රදේශය 1971 දෙසැම්බර් 16 වැනිදා වෙනම රටක් ලෙස උපන්නේය. ඉන්දීය සහාය එළිපිටම ලැබුණු හෙයින් පාකිස්තාන කඳවුරෙන් වෙන්වීමේ අරගලය සඳහා මෙම ප්‍රාන්තයට මනා පිටුබලයක් ලැබුණි. ෂෙයික් මුජිබර් රහුමාන්ගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය 1970 පැවති මහමැතිවරණයෙන් නැඟෙනහිර පාකිස්තානයේ ආසන 162න් 160ක් ම දිනා ගත්තේය. ප්‍රාදේශීය අභිලාෂය ද වෙනම රටක් බවට පත්වීම සඳහා වූ හෙයින් 1960 දශකයේ සිට ස්වාධීන රටක් සඳහා සිදු කළ අරගලය සැබෑ වන තත්ත්වයක් නිර්මාණය විය. නැඟෙනහිර පාකිස්තානය ලෙස පැවති පළාත බංග්ලාදේශය ලෙස ස්වාධීන රටක් බවට පත්වන්නේ ෂෙයික් මුජිබර් රාහුමාන්ගේ නායකත්වයෙන් සිදු කළ සටන නිසාය.

පෙරේදා ගැටව් පිරිසක් වටවී බිම දැමීම සඳහා වෑයම් කරන ලද්දේ බංග්ලාදේශයේ නිදහසේ පියාගේ ප්‍රතිමාවය. කොලු ගැටයෙක් ඒ යෝධ පිළිමයේ උඩට නැඟ, එහි හිසට වේගයෙන් පහර ගසමින් එය කඩා දමන්නට තැත් කළේය. අරගලය අවස්ථාවේ ගාලු මුවදොර බණ්ඩාරනායක ප්‍රතිමාවේ දෑස් රෙදි කඩින් බැඳීම ආදිය මේ සමඟ සිහිපත් වන්නේය. පිරිස ජනාධිපති මන්දිරයට කඩා වැදුණේ ද මෙහි පරිදිමය.

උසිගැන්වීම සහ පාදඩභාවය එකට මිශ්‍ර වූ කල මේ ජාතියේ කොල්ලකාරි දේශපාලන හටන් ඇති වන්නේය. බංග්ලාදේශය දියුණු ආර්ථික වර්ධනයක් සමඟ පෙරට ආවේ මෑතක සිටය. කර්මාන්ත ආරම්භය, බලශක්ති ජනනය ආදියෙන් ඉලක්කගත තත්ත්වයක් කරා ඒ රට ඇදී යමින් සිටියේය. මේ රටේ පරිදිම, අවස්ථාවාදී දේශපාලනය සිය අහිමිවීම දිගටම දරාගෙන හිඳින්නේ නැත. ඡන්දයෙන් ජයග්‍රහණ සඳහා පිය මැනීමට නොහැකි කළ අසත්‍ය වපුරා පල නෙළීමට සැරසෙන්නේය. අර්බුදයක් ආදී ඉවසා ගත යුතු තත්ත්වයක් ඇත්නම්, එම ඉවසීම වෙනුවට උසිගැන්වීම භාවිත කරන්නේය. ශ්‍රී ලංකාවේ කාබන් කොපියම බංග්ලාදේශයේ චිත්‍රණය වන්නේ මේ නිසාය.

මේ වනාහි බෙංගාල බොක්කේ දේශපාලන කුණාටුවකි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙතැනදී වෙනස්කම් කිහිපයක් ඇත්තේය. පොලිසිය සහ කැරලිකරුවන් අතර ගැටුම් රාශියක් බංග්ලාදේශයේදී ඇති විය. සීරජ්ගාන්ජ් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක් වෙත පුද්ගලයින් දහස් ගණනක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීහු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මරුමුවට පත් වැසියෝ ගණන දාහකට වැඩි බව අනුමාන කෙරේ. ශ්‍රී ලංකාවේ කිසිදු වෙඩි ප්‍රහාරයක් එල්ල නොවීය. සාමකාමී ආකාරයෙන් ජනාධිපති ගෝඨාභය තනතුර අත්හැරියේය.

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය විසින් මහමැතිවරණය වර්ජනය කරන ලද්දේය. ජනවාරි මාසයේදී පිට පිට හතර වෙනි වතාවටත් හසීනා අගමැති වීම ජනතා කැමැත්ත මිස බලහත්කාරයක් නොවීය. හසීනා පාලනය යනු බංග්ලාදේශ නිදහසේ ප්‍රතිමූර්තියය. බංග්ලාදේශ නිදහස් සටනේ විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියා කෝටාවක් ලබාදීම එරට නීතියකි. මේ නීතියට එරෙහිව සිසුවෝ පාරට බැස්ස කල එරට ශ්‍රේෂ්ඨාධිකරණය කෝටාව වෙනස් කළේය. ඒ සමඟ ශිෂ්‍යයෝ මාතෘකාව වෙනස් කළහ. කෝටාව පැත්තක දමා ආණ්ඩුවට ගෙදර යන ලෙස අරගලය ‘මතු සම්බන්ධ’ වන්නේය.

තත්ත්වය පාලනය කර ගැනීම අවශ්‍ය හෙයින් අගමැතිනි ෂෙයික් හසීනා, ශිෂ්‍ය නායකයන් සමඟ කොන්දේසි විරහිත සාකච්ඡා සඳහා කැමැත්ත ලබාදී එය ප්‍රසිද්ධ කළාය. එසේ තිබියදී වුවද ගින්න නිවුණේ නැත.

ගෝල්ෆේස් ගොබ්බයෝ සේම ඒ පිරිස ද මන්දිර කොල්ලයට ගියහ. මේ ආකාරයේ මානසිකත්ව යනු පාදඩ පන්නය පෙරට ඒමය. මෙහෙ පිරිස ද ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයේ නැටුවා සේ, එහෙ ෆෝම් වුණු කබ්බෝ ද ඒ ආකාරයේ වන්නම් නැටූහ. අගමැති මන්දිරයේ පුටු මේස ඇඳුම් පැලඳුම් ආදියේ සිට විදුලි පංකා, වොෂින් මැෂින් යන සියල්ලම කිසිදු හිරිකිතයක් නොමැතිව ගෙදර රැගෙන ගියෝය. මේ ජාතියේ හොර හැත්ත, අනෙක් අයට තුන් තිස් පැයේම හොරා කියමින් බෙරිහන් දෙන්නෝය.

අගමැතිනිය රටින් පිටව ගිය පසු පිරිස පාර්ලිමේන්තුව ආක්‍රමණය කළහ. මේ රටේ ඒ දක්වා වැඩේ ඔඩු දිව්වේ නැත. ජනාධිපතිවරයා රටින් ගිය පසු වැඩබලන ජනාධිපති ලෙස අගමැතිවරයා පත්විය. හෙතෙම වැඩ බැලුවේ නැත. වැඩේ කිරීමට පටන් ගත්තේය. මේ රටේ හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙක්ම අරගලය සිදුවෙන්නට ඉඩදී මැනේජ් වූවා මිස රාජ්‍යයයේ ආරක්ෂාව උදෙසා කිසිවක් කළේ නැත. එසේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ පාලකයෝ අත්හළේ නැත. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පළමු කාර්යය වූයේ පාර්ලිමේන්තුව අරගලකරුවන් අතට පත්වීම වැළැක්වීමය. හෙතෙම එය අකුරට ඉටු කළේය. ඉන් පසු ගාලුමුවදොර අවට සිටි කූඩාරම්කාරයෝ සියලු දෙනා වෙත ලයිට් නිවා පහර දුන්නේය. මාස ගණනක් චණ්ඩීන් ලෙස හැසිරුණු පිරිස අඬාගෙන ගෙදර ගියෝය. කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුව රටේ බලය යළි අතට ගෙන ආණ්ඩු කරගෙන ගියේය.

බංග්ලාදේශයට එවන් නායකත්වයක් ලැබුණේ නැත. හමුදාව වැඩේ අතට ගත්තේය. එදා කැරලිකාරයෝ මේ රට අල්ලා ගත්තේ නම් අද මේ රට පාලනය කරනුයේ පාදඩ පන්තියක් විසිනි. ඒ සැලසුම් මකා දමා මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි විය. බංග්ලාදේශයට ඒ පිහිට නැත. මේ ආකාරයේ සැසඳීම් කරමින් අපේ ඉරණම මේ ගානට බේරුණේ කෙසේ දැයි පාඨකයා නිතර නිතර සිතිය යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT