රටේ ප්‍රධාන ගැටලුවට මූලික වෙලා තිබෙන්නේ ආර්ථිකයයි
අපි කටයුතු කරන්නේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළක් අනුවයි
අපි ද්වේෂයෙන් දේශපාලනය කරන්නේ නැහැ
තරුණ අරගලයට හේතු වුණෙත් ආර්ථික කරුණුයි
2022 වර්ෂයේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු විසිපස්දෙනකුගේ කණ්ඩායමෙන් සැදුම් ලත් අලුත් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් ප්‍රගතිශීලි පක්ෂවල සහායෙන් මෙරට විශාලම වාමවාදී ප්‍රගතිශීලි සන්ධානය පොදු ජන එක්සත් පෙරමුණු ලෙස සන්ධානගතවන බවත් එහි මැතිවරණ ලකුණ 1994 වර්ෂයේදී ජයගත් පුටුව ලකුණ වන අතර, එම සන්ධානගත වීම අද දින සිදුවීමට නියමිතව තිබේ. ඒ පිළිබඳව එම නව සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
l අලුත් සන්ධානය ලෙස දේශපාලන කටයුතු කළ 2022 වර්ෂයේ සිට ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරු විසිපස්දෙනා මෙවර ජනාධිපතිවරණයේදී මොනවගේ තීන්දුවක්ද ගන්නේ?
අලුත් සන්ධානය ලෙස කටයුතු කළ අපේ මන්ත්‍රීවරු විසිපස් දෙනා තීරණය කළා ස්වාධීනව තරගකරනු ලබන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට. එම තීරණය අප ගනු ලැබුවේ අද රටේ තිබෙන ප්‍රශ්නයට සුදුසුම විසඳුම හොඳම විසඳුම දෙන්න පුළුවන් කාටද කියන කරුණ මුලික කරගෙනයි. එහෙම නැතිව අපට කිසිදු ජනාධිපති අපේක්ෂකයකු සමඟ පුද්ගලික හිතවත්කමක් හෝ පුද්ගලික තරහක් නැහැ. ඒ සියලු දෙනා අපේ මිත්‍රයෝ අපි මෙතැනදී ගනු ලැබුවේ දේශපාලන තීන්දුවක් පමණයි.
අපි වර්තමාන ජනාධිපතිවරයාගේ අවුරුදු දෙකක පාලන කාලය පිළිබඳව ඉතාමත් ගැඹුරින් නිරීක්ෂණය කළා. එහිදී අප දැක්ක දේ තමයි මෙරට මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුවට යථාර්ථවාදී විසඳුම් ලබා දීමේ හැකියාව තිබෙන්නේ ජනාධිපතිතුමාට පමණයි යන්න. අනුර දිසානායක සහෝදරයා හෝ සජිත් ප්‍රේමදාස මහතා දක්වන අදහස් ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් නරකයි වැරැදියි ගන්නම දෙයක් නැහැ කියලා ද්වේෂයෙන් අප දේශපාලනය කරන්නේ නැහැ.
ඒත් අපට තිබෙන දේශපාලන දැක්ම පළපුරුද්ද අනුව ජනාධිපතිතුමාට අවුරුදු දෙකක් තුළ මෙරට ඇතිවූ ආර්ථික ගැටලුව පාලනය කර රට යම් පමණකට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව සහ ප්‍රතිපත්තිමය දෘෂ්ටිය තිබෙන්නේ වික්‍රමසිංහ මහතාටයි. ඔහු දැන් අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමඟ එක්ව කටයුතු කරනවා. යම් කිසි ප්‍රතිපත්තිමය ගමනකට එක්ව කටයුතු කරන්නේ. ඒ නිසා මේ ප්‍රතිපත්ති වෙනස් කරමින් අලුත් ගමනක් යාමට හෝ ප්‍රතිපත්ති වෙනසක් කිරීමට සුදුසු වෙලාවක් නොවෙයි, ඒත් අද මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් තුන් දෙනාගෙන් දෙදනකු වන අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා යන දෙපාර්ශ්වයම කියනවා ඇති කර ගත් ගිවිසුම් සංශෝධනය කරනවා නැවත සලකා බලනවා කියලා. එහෙත් දැන් එසේ ගිවිසුම් සලකා බැලීමට හෝ වෙනස් කළ යුතුය යන තැනක නොවෙයි අපි ඉන්නේ. අපේ රට අස්ථාවර නොකර නිසි මඟ ස්ථාවරව අරන් යන්න පුළුවන් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති නිවැරැදියි කියලා අපි පිළිගන්නේ. අනෙක් කරුණ වන්නේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ඔක්තෝබර් මාසය වන විට ලැබීමට නියමිතයි. අපේ රාජ්‍ය ප්‍රතිපත්තියේ වෙනසක් වුණොත් එය ලැබීම පවා ගැටලු සහගත වෙන්න පුළුවන්.
l මේ කරුණු හැර ඔබ දේශපාලන කණ්ඩායම ජනාධිපතිවරයාට සහාය දෙන එකේ වෙනත් අරමුණක් නැද්ද, සමහරු කියනවා දේශපාලන වශයෙන් අවතැන්ව සිටින පිරිසක් විදිහට ඔබ කණ්ඩායම විවිධ දේශපාලන තීරණ ගන්නා බවට?
නැහැ කිසිසේත්ම , අප මේ මොහොතේදී කල්පනා කරන්නේ රට ගැන පමණයි. මේ අවස්ථාවේ රටේ තිබෙන ප්‍රධාන ගැටලුවට මූලික වෙලා තිබෙන්නේ ආර්ථිකය කියන කරුණයි. 2022 දී ඇති වූ තරුණ අරගලයට හේතු වුණෙත් දේශපාලන කරුණුවලට වඩා ආර්ථික කරුණුයි, එදා තෙල්, ගෑස්, ආහාර තිබුණානම් එතරම් ප්‍රබල දේශපාලන රැල්ලක් ඇති වෙන්නේ නැහැ එදා අරගලය ඇති වුණේම ආර්ථික කරුණු මූලික කරගෙනයි. ඒ නිසා ඇති වු ආර්ථික ගැටලුවට අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් මිස දේශපාලන විසඳුමක් නොවෙයි. දේශපාලන විසඳුම් ලබා දීමට වඩා ආර්ථික ගැටලුව, ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමේ හැකියාව සහ ප්‍රතිපත්තිමය නිවැරැදිභාවය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටයි. ඒනිසයි අප මේ තීරණාත්මක අවස්ථාවේ ජනාධිපතිවරයාට සහාය ලබා දෙන්නේ.
l කාලයක් තිබුණා පුද්ගල වන්දනාව මූලික කරගත් දේශපාලනය කරන එකල ඔබ නියෝජනය කළ දේශපාලන කඳවුර පුද්ගල වන්දනාව මූලික කරගෙන කටයුතු කළ බවට චෝදනා එල්ල වුණා?
ඒ චෝදනාව අදට වලංගු නැහැ අප කිසිදු පුද්ගලයකු පිළිබඳව පුද්ගලික විශ්වාසයකින් වැඩ කරන්නේ නැහැ අප කටයුතු කරන්නේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළක් අනුවයි මේ අවස්ථාවේ අපේ ප්‍රතිපත්තියට අනුගත රටේ උන්නතියට වඩාත් සුදුසු කණ්ඩායම සහ පුද්ගලයාට සහාය ලබා දීමක් තමයි සිදු කරනු ලබන්නේ.
එසේ නැතිව පුද්ගල වන්දනාව කියන යල් පැන ගිය ක්‍රමය අප තවදුරටත් පිළිගන්නේ නැහැ.
l ඔබ නියෝජනය කරනු ලබන නව සන්ධානය දේශපාලන කණ්ඩායම තව දුරටත් කාලයක් දේශපාලනය කළ යුතුයි ඒ සඳහා ඔබ කුමන ආකාරයේ විකල්ප මාර්ගයකටද ඔබ කණ්ඩායම කටයුතු කරන්නේ?
අපේ කණ්ඩායමේ මන්ත්‍රීවරු විසිපස්දෙනකු පමණ සිටිනවා. ඒ සමඟ නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති ධුරය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් ප්‍රගතිශීලී දේශපාලන කණ්ඩායම් සමඟ එක්ව පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණ යටතේ නැවත ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතව තිබෙනවා.
l එක්සත් ජනතා සන්ධානයට දැනටමත් ලේකම් ධුරය පිළිබඳ ගැටලුවකට මුහුණ දී තිබෙනවා ඒ තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කළ පොදුජන එක්සත් පෙරමුණට එවැනි ගැටලුවකට මුහුණ දී නැද්ද?
නැහැ. පොදුජන එක්සත් පෙරමුණේ වර්තමාන ලේකම්වරයා ලෙස සිටින්නේ ලසන්ත අලගියවන්න මහතායි. ඔහුට හෝ පොදුජන එක්සත් පෙරමුණට කිසිදු නීතිමය බාධාවක් නැහැ. ඒනිසා තමයි අපේ නව සන්ධානයේ දේශපාලන පක්ෂය ලෙස පොදුජන එක්සත් පෙරමුණ සහ පුටුව ලකුණ තෝරා ගනු ලැබුවේ.
l මෙම පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ වෙනස්කම් සහ නායකත්වය පිළිබඳව සඳහන් කළ හැකිද?
පොදුජන එක්සත් පෙරමුණ තුළ එක් නායකයකු වෙනුවට නායකත්ව මණ්ඩලයක් පත්කරනු ලබනවා, මෙහි කොටස්වලින් 25% පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ඉතිරි කොටස් සෙසු පාර්ශ්වවලට ලැබෙන විදිහටයි කටයුතු කරන්නේ. මෙතෙක් කල් සිදුවුණේ එක් ප්‍රධාන පක්ෂයක්, නායකයකු වටා අනු පක්ෂ එක්ව නාමිකව සන්ධානයක් නිර්මාණය කිරීමයි. එහෙත් පොදුජන එක්සත් පෙරමුණ ඊට වඩා ගොඩක් වෙනස් දේශපාලන කණ්ඩායමක් දේශපාලන සන්ධානයක් විදිහයටයි කටයුතු කරනු ලබන්නේ.
l දේශපාලනය සම්බන්ධව කටයුතු කරද්දි දේශපාලන පොරොන්දු පිළිබඳව විශාල කතාබහක් ඇති වෙනවා. පොරොන්දු දේශපාලනය අපේ රටට බලපානු ලැබුවේ කොයි විදිහටද?
අපේ ආර්ථිකයට මේ විදිහේ තත්ත්වයක් ඇති වුණෙත් තක්සේරු නොකර ආර්ථියක පිළිබඳව නොසලකා කටයුතු කිරීම මඟින්, එක් අවස්ථාවක රාජ්‍ය නායකයකු ප්‍රසිද්ධ වේදිකාවක සඳහන් කළා පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දෙන බවට ඒ පොරොන්දුව ලබා දුන්නේ ආර්ථිකය ගැන අහලවත් මහා භාණ්ඩාගාරයෙන් අහලවත් නොවෙයි තමන්ගේ හිතුමතේට.ඒ වගේ දේවල් නිසා තමයි අපේ රටේ ආර්ථිකය මේ විදිහට කඩා වැටුණේ නිසි සැලසුමක් නැතිව හිතු හිතූ විදිහට කටයුතු කිරීමේ ප්‍රතිඵල තමයි අද අප අත් විඳින්නේ. දැන් අද නැවත ජනාධිපති අපේක්ෂකවරු විවිධ විචිත්‍ර ආකාරයේ පොරොන්දු ලබා දීමට කටයුතු සිදු කරමින් සිටිනවා. ඒත් මේ පොරොන්දු ඉටු කිරීමට මුදල් කෝ අපට ආයේ මුදල් අච්චු ගහලා අපේ ආර්ථිකය නැවත අර්බුදයක් වෙත යොමු කළ යුතු ද ඒ ගැන ජනාධිපති අපේක්ෂකවරු පවසන්න ඕනෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය ප්‍රමාණයට සහන සහ ආධාර ලබා දී තිබෙන්නේ. මෙයින් එහා ආධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් ඒ සඳහා සල්ලි හොයන්නේ කොහෙන්ද කියලා ජනාධිපති අපේක්ෂකවරු ප්‍රසිද්ධ ප්‍රකාශකයක් කරන්න ඕනැ.
l 2022 වර්ෂයේ මුලින් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ ඔබ කණ්ඩායම ජනාධිපතිවරයාට සහාය ලබා දෙන අතර ඉන්පසු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ ඩලස් අලප්පෙරුම මහතා ඇතුළු පිරිස සමඟි ජන සන්ධානයට එකතු වෙනවා ඔබ දෙපාර්ශ්වය එදා එක මතයක සිට අද වෙනත් මතයකට එළඹුනේ ඇයි?
අප කිසිවකු සමඟ එකතු වෙන්නේ නැහැ අප වෙනම දේශපාලන සන්ධානයක් විදිහට සංවිධානය වීමයි සිදු කරනු ලබන්නේ. අපි එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්නේ නැහැ යුගයේ අවශ්‍යතාව අනුව කටයුතු කරනවා. එහෙත් ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමේ බොහෝ පිරිස් දැනටමත් සමඟි සන්ධානයේ ආසන පවා භාර අරගෙන දේශපාලනය කරමින් සිටිනවා. ඒත් අප සහාය ලබා දෙන්නේ රට වෙනුවෙන් වූ වැඩපිළිවෙළ සඳහා පමණයි.ඉන්පසු අපට අපේ වෙනම දේශපාලනයක් තිබෙනවා. අපි ඉදිරි මැතිවරණවලදී පොදුජන එක්සත් පෙරමුණ විදිහට තරග කිරීමට කටයුතු කිරීමට සූදානම්, මෑතකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායමද පොදුජන එක්සත් පෙරමුණ සමඟ එකතු කරගැනීමට ඇති හැකියාව සොයා බලමින් සිටිනවා.
l නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණය සඳහා තරග කරනු ලබනවා එය මෙවර ජනාධිපතිවරණයට තීරණාත්මක බලපෑමක් කරනවා නේද?
කිසිසේත්ම නැහැ, පරාජය පිළිඅරගෙන සිටින නාමල් රාජපක්ෂ මහතාගෙන් කිසිදු තීරණාත්මක බලපෑමක් සිදු වේයැයි සිතන්න බැහැ. දිනන්න බැහැ කියල දැනුන ගමන්ම විශාල ඡන්ද දායකයන් ප්‍රමාණයක් ඉවත් වෙනවා. අද ඇතිව තිබෙන තත්ත්වය තුළ නාමල් රාජපක්ෂ මහතා ලබා ගන්න ඡන්ද ගණන මම දන්නවා ඒත් සදාචාරාත්මක හේතු නිසා මම එම ඡන්ද ගණන කියන්නේ නැහැ. එහෙත් ඔහු පරාජිතයෙක් ඔහුට ජයග්‍රහණය කරන්න දශමයක හෝ අවස්ථාවක් නැහැ. ඇත්තෙන්ම ඔහු මේ තීරණය ගත්තේ ඇයිද යන්නත් ගැටලුවක්.
l එහෙත් මහින්ද රාජපක්ෂ මහතාට රට පුරා සැලකිය යුතු ජන කැමැත්තක් තවමත් තිබෙනවා ඒ තත්ත්වය නාමල් රාජපක්ෂ මහතාට වාසියක් නොවෙයිද?
මම කියන්නේ නැහැ නාමල්ට ඡන්ද බිංදුවයි කියලා ඔහුට යම් ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන් ඒත් ඒක ජනාධිපතිවරණ ජයග්‍රහණයට ළංවෙන හෝ ප්‍රමාණයක් නොවෙයි.
උදිත ගුණවර්ධන