අද නාමයෝජනා ලබාදෙන දිනය බැවින් රාජගිරියේ මැතිවරණ කාර්යාලය අවට සියල්ල විශේෂ වන්නේය. වෙනදාට ගිය ආකාරයට පාරේ යෑමට බැරිය. රථවාහන සඳහා විශේෂ සැලැස්මක් නියම කර තිබේ. රාජගිරිය හන්දියේ සහ ඒ අවට සිටින ට්‍රැෆික් රාලහාමිලා දෙතුන් දෙනා නොව, මෙදා මහ පාරේ ජනතාවට වඩා සිටින්නේ පොලිසියය. විශේෂ කාර්ය බළකාය වැනි අවි දරන ලද පොලිස් නිලධාරීහු ද ඒ අවට සරනවා ඇත. තව වසර කිහිපයක් ගොස් මේ ගැන අර්ථකථන දෙන සමහරෙක්, රජා තේරූ ගිරිය නමැති අර්ථයෙන් ඔය පළාත රාජගිරිය වූවා යැයි කීව ද පුදුම විය යුත්තේ නැත. මේ රටේ නාම, ග්‍රාම සඳහා පමණක් නොව සිද්ධි සඳහා ද අර්ථ ලැබෙන්නේ ඔය ආකාරයටය. අද නාමයෝජනා දින හෙයින් ජනාධිපතිවරණයක් පැවැත්වීම ටක්කෙට සිදුවෙන බව කිව හැකිය. එසේ වුවත් විපක්ෂය මුල සිටම කියා සිටියේ ආණ්ඩුව ඡන්දය කල්දැමීම සඳහා සැරසෙන බවය.
එවැනි සැලසුමක් ආණ්ඩුවට නොතිබුණේ වුවද මේ ආකාරයේ පදනමක් නැති අර්ථකථන සමහරක් ජනී ජනයා කරට අර ගත්හ. සල්ලි නෑ කියා ඡන්ද විමසීම කල්දැමීමට ආණ්ඩුව සැරසෙන බව මුලදීම කියූ විට ආණ්ඩුව කියන ලද්දේ මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අය වැයෙන් මුදල් වෙන් කර ඇති බවය. ඊළඟට ආවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) උප වගන්තියේ, වසර පහ සහ හයේ කතාවය. එය අල්ලාගෙන ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දැමීමට සැරසෙන්නේ යැයි විපක්ෂය මාධ්‍ය සංදර්ශන දමන ලද්දේය. මේ වගන්තිය සම්මත වූ ආකාරය අනුව ජනාධිපතිගේ නිල කාලය වසර හයක් ලෙස අර්ථ ගන්වා, තව වසරක් ජනාධිපති ලෙස කටයුතු කිරීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන බවට මේ පිරිස චෝදනා කළෝය.
වැඩේ වඩාත් තීව්‍ර වූයේ මේ මාතෘකාව අල්ලාගෙන සී.ඩී. ලෙනව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමය. එම නඩුකරය ගොනුකරන ලද්දේ, වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කරමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලාය. පෙත්සම අධිකරණයට ඉදිරිපත්වූ මොහොතේ සිට ලෙනව තෙමේ, ආණ්ඩුවේ බළල් අතක් විය. ආණ්ඩුවේ ඡන්දය කල්දැමීම සඳහා අධිකරණය ද අල්ලාගෙන ගේමක් ගසන බව ‘හෝ පටේට’ කතා ප්‍රචාරය විය. ලෙනව පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය ද ආණ්ඩුවේ වුවමනාවන් ඉටු කරන ආයතනයක් ලෙස හම ගසමින් කටකතා ප්‍රචාරය කරන ලද්දේය. මේ සඳහා පිළිතුරු ලබාදීම සඳහා ජනාධිපති කාර්යාලය නිවේදනයක් ද නිකුත් කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතිඥවරුන්ගෙන් අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇතැයි ඒ නිවේදනයේ සඳහන් විය.
කොපමණ ආකාරයට ආණ්ඩුව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කළ ද මඩෙන්ම මේ පිරිස එන්නේ බැවින්, ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරැදි බවත් යන්න, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැඩි ස්ථාවරය බවද එම නිවේදනයෙන් රටට කියා සිටින්නට ආණ්ඩුවට සිද්ධ විය.
ලෙනව සහ ආණ්ඩු පක්ෂයේ කිසිවෙක් අතර සහසම්බන්ධයක් තිබුණේ නැත. යම් හෙයකින් ලෙනව ආණ්ඩුවේ කාගේ හෝ කවුරු වී සිටියේ නම් එතැන් සිට කටකතාව සඳහා අමුතු නිරුක්තියක් ලැබෙන්නේය. ලෙනවට යම්තාක් සම්බන්ධයක් තිබුණේ සජබය සමඟය. ඒ ගැන හෙළිවීමත් සමඟ පිරිස කර බා ගත්හ. එහෙත් අර ආකාරයේ අර්ථකථන ලබාදීම අඛණ්ඩව කරගෙන ගියේය.
පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ හෙයින් නිරුක්තිය හකුළාගෙන පැත්තකට විය යුත්තේ නමුදු අලුත් කතාවක් ගොතාගෙන වැඩේට බැසීමට විපක්ෂය උත්සාහ කළේය.
ඒ තවත් නඩුකරයක් අල්ලාගෙනය. ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ විට එය ද ආවේ ආණ්ඩුවේ ඇඟටය.
මේ ආකාරයට වැඩේ දිගින් දිගටම ආණ්ඩුවේ ඇඟට දමන කළ, ජනාධිපති ධුර කාලය සහ පාර්ලිමේන්තු ධුර කාලය අවුරුදු 05ක් ලෙස නීතිගත කරන ලෙසට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන ලදි.
‘සා අවුරුද්දක් ඉක්මවා’ යන වචන වෙනුවට ‘පස් අවුරුද්දක් ඉක්මවා’ යන වචන ආදේශ කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කළේය.
එසේ නඩු දෙකම පරාජය වී, ප්‍රශ්නයක් ඉතිරිව ඇත්නම් ඒ සඳහා ද පනතක් ගෙන ඒමට ජනාධිපතිවරයාමැ යෝජනා කර තිබියදී, පොලිස්පති අල්ලාගෙන අලුත් කතාවක් ගෙතීමට විපක්ෂය සැරසුණේය. වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් නොකර ආණ්ඩුව ඡන්දය කල්දැමීම සඳහා වැඩ කරගෙන යන බව ඉන් කියවුණේය.
ඒ සඳහා පිළිතුරු ලෙස ජනාධිපතිවරයා සිදු කළේ පළමුකොටම ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඇප තැන්පත් කිරීමය. ඊළඟට ග්‍රාම සේවක වර්ජනය ආදිය සඳහා නිරුක්ති දෙමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම කල්දැමීම සඳහා ආණ්ඩුව උත්සාහ කරන බව කියමින් විපක්ෂය වටේ ගියේය.
දැන් ඒ සියල්ල අතේ පත්තු වී ඇත්තේය. එසේ වුවද ඒ ආකාරයේ චෝදනා පිළිබඳව වගේ වගක් නැතිව විපක්ෂය අද දිනයේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට පැමිණෙනවා ඇත.