ගාල්ල, කළුවැල්ල ප්රදේශයේදී පාරේ ගමන් කරමින් සිටි විදේශීය කාන්තාවකගේ මුදල්, දුරකතනය, ගමන් බලපත්රය සහිත අත් බෑගය යතුරුපැදිකින් පැමිණි දෙදෙනකු විසින් පෙරේදා (13) රාත්රියේ කොල්ලකා පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
රුසියානු ජාතික මෙම කාන්තාව ඉකුත් 09 වැනිදා ලංකාවට පැමිණ හික්කඩුවේ නතරව සිට තවත් මිතුරියක් සමඟ ගාල්ලට පැමිණ පෙරේදා (14) රාත්රී අටට පමණ කළුවැල්ලේ පිහිටි වෙළෙඳ ආයතනයකට යමින් සිටින විට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඇයගේ බෑගය කොල්ලකා පලාගොස් ඇත. බෑගයේ රුපියල් 13,000ක් අෙමරිකන් ඩොලර් 100ක් ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් සහ ගමන් බලපත්රය තිබූ බව ද සඳහන් කරමින් පොලිසියට පැමිණිලි කර ඇත.
මේ අතර ඉකුත් 04 වන දින රාත්රියේ ද ගාල්ල කොටුවේ පාගමනින් යමින් සිටි රුසියානු ජාතික කාන්තාවකගේ ද මුදල් බෑගය යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු කොල්ලකා පලාගොස් ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය විසින් පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.