Home » රුසියාව යුක්රේනය සහ බෙලරුසයේ අනාගතය

රුසියාව යුක්රේනය සහ බෙලරුසයේ අනාගතය

by sachintha
August 17, 2024 3:19 am 0 comment

බෙලරුසයේ ජනාධිපතිවරයා වන Aleksander Lukashenko ව විදෙස් මාධ්‍ය හඳුන්වා දී සිටින්නේ පුටින්ගේ සගයා ලෙසිනි. යුක්රේනය, රුසියාවට පහර දෙමින් ආක්‍රමණය කිරීමත් සමඟ ඔහු පවසා සිටින්නේ යුක්රේන ජනතාවටත්, රුසියාවටත්, බෙලරුසියාවටත් යුද්ධයක අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. යුද්ධයේ අවශ්‍යතාවය ඇත්තේ බටහිරටයි. එම නිසා සාකච්ඡා මේසයේ වාඩිවී මෙය අවසන් කර ගනිමු යනුවෙනි.

පසුගිය කාලවකවානුව පුරාම වාගේ කතාබහ කරන්නට යෙදුණු මාතෘකා වූයේ හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර පැවැති නොනැවතුණු ගැටුම්ය. ඒ කතා මැද යළිත් එයටම බද්ධ වන ලෙසින් ඈදුණු කතාව වූයේ ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට ඇති සූදානමයි. මේ වනතෙක් ඔවුන් කියුවා සේ ප්‍රහාර එල්ල නොකළද මේ වන විටත් ඔවුන් සූදානම්ව සිටින්නේ ඊශ්‍රායලයට අමතක නොවන පාඩමක් ඉගැන්වීමටයි. එහෙත් අමෙරිකාව මෙන්ම බටහිර රටවල් ඉරානයට දිගින් දිගටම පවසා සිටින්නේ කලාපීය අර්බුද මෙන්ම ගෝලීය අර්බුද පැන නැඟීමේ ඉඩකඩ ඇති හෙයින් ප්‍රහාරයන් සඳහා යොමු නොවන ලෙසයි. එහෙත් ඉරානය පැවසූ පරිද්දෙන්ම පැය ගණනාවක් ඇතුළත ප්‍රහාර එල්ල නොකළද නිහඬවම තම අරමුණු කරා දිව ගිය තවත් එක් රටක් තිබිණි. ඒ යුක්රේනයයි. යුක්රේන රුසියන් ගැටුම අලුත් මාතෘකාවක් ලෙසින් කරළියට ගෙන ඒමට ඔවුන් සමත් විය.

වර්තමානයේ යුද ගැටුම් පිළිබඳ නිහඬතාවයක් පැවැති සමයක රුසියාව විසින් යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබුවේ 2022 පෙබරවාරි 24 වැනිදාය. මේ වන විට රුසියන් යුක්රේන ගැටුම ආරම්භ වී සති 125කටත් වඩා කල්ගත වී හමාරය.

විදෙස් පුවත් සේවා සඳහන් කරන ආකාරයට යුක්රේනය විසින් පසුගියදා විස්මය දනවන අයුරින් ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය. යුක්රේන හමුදාව රුසියාවට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය බව යුක්රේන ජනාධිපති සෙලෙන්සිකි ප්‍රකාශ කර සිටියේය. රුසියාව විමතියට පත් කරමින් ඩ්‍රෝන සිය ගණනක් මෙන්ම කාලතුවක්කු ප්‍රහාරයන් මෙන්ම යුද ටැංකිද සමඟින් ඔවුන් රුසියානු භූමිය ආක්‍රමණය කරමින් පහසුවෙන්ම කිලෝමීටර් ගණනාවක් ඉදිරියට පැමිණීමට සමත් විය. කිසිවකුත් විශ්වාස කළ නොකළ අන්දමේ ප්‍රහාරය සඳහා යුක්රේනය තමා සතුව සිටින සෙබළුන් දහසක් පමණ ද, යුද ටැංකි 11ක් හා සන්නද්ධ රථ 20කට වඩා වැඩි ප්‍රමාරණයක් යොදා ගෙන තිබිණි. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ යුද ටැංකි ජර්මනිය සතු ඒවා විය. රුසියාව මේ සම්බන්ධයෙන් තම අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ජර්මානු යුද ටැංකි රුසියානු භූමියේ සැරිසරන්නේ වසර 80කට පසුව බවයි. කෙසේ වෙතත් මීට පෙර ජර්මනිය විසින් යුක්රේනයට යුද ආධාර ලබා දුන්නද ඔවුන් ප්‍රකාශ කර සිටියේ තමා ලබා දෙන අවි ආයුධවලින් රුසියානු භූමියට ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙසයි. එහෙත් මේ වන විට එම බාධාව ඉවත් වී ඔවුන් රිසි සේ ප්‍රහාර එල්ල කරන බව පෙනී යයි.

ජනතාව ඉවතට

ජාත්‍යන්තර විචාරකයින් සඳහන් කරනුයේ මෙම පහරදීමේ මෙහෙයුම සඳහා පැමිණි පිරිස ඉතා විශාල ප්‍රමාණයක් ලෙසින් සඳහන් කළ හැකි බවයි. කර්ස්ක් පළාතට එල්ල වූ මෙම ප්‍රහාරයත් සමඟින් එම පළාතේ ජනතාව ඉවත් කිරීමට රුසියානු හමුදාව යුහුසුළු විය. යුක්රේන හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් නිසා එම ප්‍රදේශයේ ජනතාවගේ දේපළවලට මෙන්ම නිවාස ආදිය ද විනාශ විය. යුක්රේන හමුදාව විසින් සිදුකරන ලද ආක්‍රමණය කවරේද යත් ඔවුන් විසින් මේ වන විට කර්ස්ක් පළාතේ ගම්මාන 28ක් තමා යටතට පත් කර ගැනීමට සමත්ව තිබේ. විලැද්මිර් පුටින් සමඟ කර්ක්ස් පළාතේ වැඩබලන ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකදී ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර 12 දෙනෙකු පමණ සිවිල් වැසියන් ද ඝාතනය වී ඇති බව සඳහන් කර තිබේ.

වර්ග කිලෝමීටර් 1000ක් යුක්රේනයට

කලක් තිස්සේ යුක්රේන හමුදාව විසින් රුසියාවේ දේශ සීමා ආසන්න ප්‍රදේශවලට ප්‍රහාරයන් එල්ල කරමින් සිටිය ද රුසියානු භූමියට ඇතුළුවීමක් සිදු වූයේ නැත. එසේ ගුවන් ප්‍රහාරයන් එල්ල වුවද දේශ සීමා ආක්‍රමණයන් සිදු වූයේ ඉතා සුළු මට්ටමෙනි. එහෙත් මෙවර රුසියාවේ අභ්‍යන්තරයට යුක්රේන හමුදාව ඇතුළුවීමට සමත් විය. දේශපාලන විචාරකයින් පවසන්නේ මේ වන විට රුසියාවේ ආරක්ෂක යන්ත්‍රණයේ පවතින යම් දුර්වලතාවයක් පෙන්නුම් කරන බවයි. රුසියාව විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් දේශ සීමා ආසන්නයේ දහස් ගණන් ජනතාව තම ජීවිත බේරා ගැනීමේ අරමුණින් පලා යමින් සිටී. බටහිර රුසියානු කලාපයෙන් විශාල පිරිසක් ඉවත් කර ඇති අතර තවත් 59000කට අධික පිරිසකට ඉවත් වන ලෙස ද දන්වා ඇත. යුක්රේන හමුදාව පසුගිය අඟහරුවාදා සිය ප්‍රහාරය එල්ල කරමින් කිලෝ මීටර් 30ක් පමණ ඉදිරියට පැමිණියහ. මේ මොහොත වන විට ඔවුන් ප්‍රකාශ කරනා අයුරින් වර්ග කිලෝමීටර් 1000ක පමණ ප්‍රදේශයක් පුරා තම අණසක පැතිරවීමට ඔවුන් කටයුතු කර තිබිණි.

මේ අතර යුක්රේනයේ පිහිටි යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයේ ගින්නක් ඇති වී තිබිණි. මෙම ගිනි ගැනීම් සම්බන්ධයෙන් රුසියාව සහ යුක්රේනය එකිනෙකාට චෝදනා කරගන්නට විය. මෙම ගින්න හටගනු ලැබුවේ පසුගිය ඉරිදාය. විදෙස් පුවත් සේවාවන් සඳහන් කර සිටියේ මෙම බලාගාරයට ගින්න ඇතිවීමත් සමඟින් කළුපැහැති දුම් වලාවන් පිටවුණු බවයි. මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් කිසිදු අයුරකින් අවදානමක් නොමැති බව රුසියාව විසින් සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් ඔවුන් ප්‍රකාශ කර සිටියේ මෙකී බලාගාරයේ සිසිලන පද්ධතිය තුළ ගින්න හටගනු ලැබුවේ යුක්රේන හමුදාව විසින් සිදුකරනු ලැබූ ප්‍රහාරයකින් පසුව බවයි. නමුත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර සිටියේ බලාගාරය ආශ්‍රිතව රුසියානු හමුදාව විසින් වෙඩි ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙන බවයි.

මේ අතර ව්ලැදිමීර් පුටින් පවසන්නේ යුක්රේනය රුසියාවට ඇතුළු වී අපරාධ කරන බවත් රටේ දකුණ ආක්‍රමණය කරමින් රුසියානු ස්ථාවරත්වය අඩපණ කිරීමට යුක්රේනයට අවශ්‍ය නමුත් එය කිසිදාක සිදුනොවන බවයි. මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය තවදුරටත් සඳහන් කර සිටියේ යුක්රේන ප්‍රහාර හේතුවෙන් ඉවත් කරන ලද කර්ස්ක් ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා මේ වන විට මානුෂීය ආධාර ලබා ගැනීම වෙනුවෙන් මිනිසුන් පෙළ ගැසී සිටින බවයි. පුටින් තම අදහස් දක්වමින් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සතුරාට නිසැකවම ප්‍රතිචාර ලැබෙනු ඇති බවයි. මේ අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා සිටියේ යුද්ධය රුසියාව විසින් අන් අයට ගෙන ආ බවත් මේ වන විට නැවත රුසියාවටම යුද්ධය පැමිණ තිබෙන බවත්ය.

බෙලරුසයේ කතාව

ජර්මනියේ නාසින් විසින් අල්ලා ගන්නා ලද බෙලරුස් රුසියාව විසින් යළි නැවත අත්පත් කරගන්නා ලද්දේ 1944 දීය. එය 1991 අගෝස්තු 25 දින සෝවියට් සංගමයෙන් නිදහස් කරන තෙක් සෝවියට් පාලනය යටතේ පැවති රාජ්‍යයක් විය. මෙනිසා ඔවුන්ගේ හිතෛෂීභාවය ඇත්තේ රුසියාව සමඟයි. මේ නිසා බෙලරුසයේ ජනාධිපතිවරයා වන Aleksander Lukashenko ව විදෙස් මාධ්‍ය හඳුන්වා දී සිටින්නේ පුටින්ගේ සගයා ලෙසිනි. යුක්රේනය, රුසියාවට පහර දෙමින් ආක්‍රමණය කිරීමත් සමඟ ඔහු පවසා සිටින්නේ යුක්රේන ජනතාවටත්, රුසියාවටත්, බෙලරුසියාවටත් යුද්ධයක අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. යුද්ධයේ අවශ්‍යතාවය ඇත්තේ බටහිරටයි. එම නිසා සාකච්ඡා මේසයේ වාඩිවී මෙය අවසන් කර ගනිමු යනුවෙනි.

බෙලරුස් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළද විලැදිමීර් පුටින් පසුගිය සඳුදා ප්‍රකාශ කර සිටියේ, “සිවිල් ජනතාවට, සිවිල් යටිතල පහසුකම්වලට, අසීමිත ලෙස පහර දෙන සහ න්‍යෂ්ටික බලාගාරවලට තර්ජන ඇති කිරීමට උත්සාහ කරන පුද්ගලයින් සමඟ අපට කිරීමට ඇත්තේ කුමන ආකාරයේ සාකච්ඡාවක් ද? යනුවෙනි.

ඒ කෙසේ වුවද රුසියාව විසින් යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමේදී තම භූමිය හරහා යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමට බෙලරුස් විසින් අවස්ථාව ලබා දී තිබිණි. යුක්රේන ඩ්‍රෝන තම රටට ඇතුළු වූ බව රුසියාව ප්‍රකාශ කිරීමත් සමඟ බෙලරුස් පැවසුවේ තම දේශසීමාවේ ඔවුන්ගේ හමුදා ශක්තිය තර කර ඇති බවයි.

මේ වන විට යුක්රේනය කියා සිටින්නේ රුසියාවේ Sudzha නගරය තමන් විසින් සම්පූර්ණයෙන්ම පාලනයට ගෙන ඇති බවයි. යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙම නගරයේ ඔවුන් විසින් හමුදාපති කාර්යාලයක් පිහිටුවන බවයි. යුක්රේනය විසින් එසේ ප්‍රකාශ කළද රුසියානු නිලධාරින් එය එකහෙළා ප්‍රතික්ෂේප කරනු ලබයි. ඔවුන් පවසන්නේ ඒ ආශ්‍රිතව තවමත් ගැටුම් පවතින බැවින් සතුරාට එය සම්පූර්ණ වශයෙන් අත්පත් කර ගත නොහැකි බවයි.

කෙසේ නමුත් අල්ජසීරා පුවත් සේවයේ මොස්කව් වාර්තාකරු සඳහන් කර සිටින්නේ පාර්ශ්ව දෙකෙන්ම එකිනෙකාට පරස්පර අදහස් ප්‍රකාශ වන බවයි. යුක්රේන නිලධාරින්ගේ ප්‍රකාශයන්ට පටහැණි ප්‍රකාශ රුසියානු රාජ්‍ය ආරක්ෂක අංශය විසින් නිකුත් කරන බව ඔහුගේ අදහසයි.

මේ වන විට භූමියේ වාසිය ඇත්තේ යුක්රේනය සතුවයි. මේ නිසාවෙන්ම සියලුදෙනා බලා සිටින්නේ ඊළඟ තත්පරයේ කුමක් සිදුවේද යන්නයි. නමුත් එක් දෙයක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එනම් රුසියාව තම හමුදාව සමඟින් දැඩි තීරණයකට එළඹ සිටින බවයි.

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT