Home » වෛද්‍යවරුන්ට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පා අද ඉන්දියාවේ රෝහල් පද්ධතියේ වැඩවර්ජනයක්

වෛද්‍යවරුන්ට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පා අද ඉන්දියාවේ රෝහල් පද්ධතියේ වැඩවර්ජනයක්

by sachintha
August 17, 2024 1:35 am 0 comment

බටහිර බෙංගාල ප්‍රාන්තයේ රෝහලක අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ උණුසුම හමුවේ අදාළ රෝහලට සහ වෛද්‍යවරුන්ට මැර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ඉන්දියාව පුරා විරෝධතා උත්සන්න වී ඇතැයි වාර්තා වේ. ඉන්දියාවේ දිල්ලි, හයිද්‍රබාද්, මුම්බායි සහ පූනේ නගරවලට ද විරෝධතා පැතිරී ඇති අතර, අද හදිසි ප්‍රතිකාර අංශ හැරුණු විට රෝහල් පද්ධතියේ සෙසු සියලු කාර්ය මණ්ඩල රට පුරා දැවැන්ත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වෛද්‍යවරුන්ට හා රෝහලට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් සති අන්තයේ පා ගමන් කිහිපයක් ද පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.

මැර ප්‍රහාරයෙන් වෛද්‍යවරුන්ට මෙන්ම රෝහලේ රථගාලේ නවතා තිබූ වාහන සහ යතුරුපැදි රැසකට ද අලාභහානි සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වෛද්‍යවරියගේ මරණය සම්බන්ධ කොල්කටා පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති බවත්, සාධාරණ හා අපක්ෂපාති විමර්ශනයක් සිදු කරන ලෙසත් එම ප්‍රාන්තයේ වෛද්‍යවරුන් හා ඝාතනයට ලක්වූ වෛද්‍යවරියගේ මාපියන් විසින් කරනු ලැබූ ඉල්ලීමට අනුව එම විමර්ශන කටයුතු ෆෙඩරල් මධ්‍යම විමර්ශන කාර්යාංශය වෙත භාර දෙන ලෙස පසුගියදා කොල්කටා මහාධිකරණය නියෝග කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT