කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි ඉදිකිරීමට සැලසුම් කර තිබෙන දෙමළ ජන සංහාර ස්මාරකය ඉදිකිරීමට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව දැඩි විරෝධය පළ කර තිබේ. විදේශ ඇමැති අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා කැඳවා ඊනියා ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ ඇමැති අලි සබ්රි මහතා ඊයේ (16) කැනේඩියානු මහකොමසාරිස්වරයා කැඳවා මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කර තිබෙන අතර, බ්‍රැම්ප්ටන් හි චිංගුකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාරක ස්මාරකයක් ඉදිකිරීමට මුල්ගල් තැබීම සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය පළ කළ බවද සිහිපත් කර ඇත.
කැනඩාව තුළ ඡන්ද බැංකු දේශපාලනය වෙනුවෙන් පවත්වාගෙන යන මෙම සාහසික අසත්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා ආණ්ඩුව තරයේ ප්‍රතික්ෂේප කරන බවට විදේශ ඇමැති අලි සබ්රි මහතා අවධාරණය කර තිබෙන අතර බ්‍රැම්ප්ටන් නගර සභාවේ අයථා ක්‍රියාමාර්ග කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ සාමයට ලැදි සියලු ජනතාවට අප්‍රසන්න බවද ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් පිළිබඳ ඊනියා චෝදනාව ද්වේශ සහගත සාවද්‍ය තොරතුරු මත පදනම් වූ ප්‍රබන්ධයක් වන අතර එය ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු වගකිවයුතු බලධාරියකු සනාථ කළ එකක් නොවන බවද පෙන්වාදී තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය වසර දෙකක කාලය තුළ රට තුළ ආර්ථික අර්බුදයක් පැවතිය ද ගැටුම අවසන්වීමෙන් පසු සංහිඳියාව ඇති කිරීමට සහ තිරසර සාමයක් ගොඩනැඟීමට අඛණ්ඩව ප්‍රයත්න දැරූ අතර එවැනි බෙදුම්වාදී ක්‍රියාවන් ත්‍රස්තවාදය උත්කර්ෂයට නංවමින් සහ අසමගිය වපුරමින් එම ප්‍රයත්නයන් හෑල්ලු කරන අතර ශ්‍රී ලංකාව සහ කැනඩාව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටවලට අනුමත කළ නොහැකි බවද පෙන්වාදී ඇත.
මෙම ආඛ්‍යානය මඟින් ද්විපාර්ශ්වික සබඳතාවලට ඇතිවන අහිතකර බලපෑම හඳුනාගෙන තවදුරටත් හානියක් සිදු නොවීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් කැනඩා ආණ්ඩුව මැදිහත්වී මෙම ස්මාරකය ඉදිකිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් විදේශ ඇමැතිවරයා ඉල්ලා තිබේ.
මහින්ද අලුත්ගෙදර