Home » ලයන්ස් පිල කඩුලු 8ක් අතැතිව ඉලක්කයට ලකුණු 75ක් පසුපසින්

ලයන්ස් පිල කඩුලු 8ක් අතැතිව ඉලක්කයට ලකුණු 75ක් පසුපසින්

by sachintha
August 17, 2024 3:13 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ වෝස්ට්ෂයර්හිදී පැවැත්වෙන සිව්දින පුහුණු තරගය ජය ගැනීම සඳහා සත්කාරක එංගලන්ත ලයන්ස් පිලට ලකුණු 122ක ඉලක්කයක් හිමි විය.

එම ඉලක්කය හඹා යන ලයන්ස් පිල ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 47ක් රැස් කර තිබිණි. ඒ අනුව කඩුලු 8ක් අතැතිව සිටින ලයන්ස් පිලට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 75ක් පමණි.

එංගලන්ත ලයන්ස් පළමු ඉනිමට වඩා ලකුණු 185ක් පසුපසින් හිදිමින් ඊයේ සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල ලකුණු 306ක් රැස් කළ අතර, ඒ සමඟ ලයන්ස් පිලට ලකුණු 122ක ජයග්‍රාහී ඉලක්කය හිමි විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 139කට දවාගත් ලයන්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 324ක් රැස් කළේ පළමු ඉනිමේදී ලකුණු 185ක වාසියක් හිමි කර ගනිමිනි.

ලයන්ස් දෙවැනි ඉනිමේ තෙවැනි ඕවරය යැවූ නායක ධනංජය ද සිල්වා පිට පිට පන්දු 2කින් බෙන් මැකින්නි (20) සහ ඔලිවර් ප්‍රයිස් (0) දවා ගැනීමට සමත් වූ අතර, රොබ් යේට්ස් ලකුණු 17ක් සහ හම්සා ෂෙයික් ලකුණු 8ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 105ක් එක් කිරීමට නිශාන් මධුෂ්ක සහ දිමුත් කරුණාරත්න සමත් වූ අතර, ලකුණු 43ක් රැස් කර දිමුත්ගේ ඉනිම ලකුණු 43කින් නතර කළ ලින්ඩන් ජේම්ස් තවත් ලකුණු 8ක් එක්වෙද්දී කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ද ලකුණු 3කට සීමා කළේය. කෙසේ වෙතත් මධුෂ්ක ලකුණු 141 දක්වා ඉදිරියට රැගෙන ගිය අතර, ලකුණු 5ක් තුළ මධුෂ්ක සමඟ දිනේෂ් චන්දිමාල් (0) ද දැවී යෑම ශ්‍රී ලංකා පිල අර්බුදයකට ඇද දැම්මේය.

මධුෂ්ක හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 88කින් ලකුණු 77ක් රැස් කර තිබිණි. 5 වැනි කඩුල්ලට මැතිව්ස් සමඟ එක් වූ නායක ධනංජය ද සිල්වා මුළු ලකුණු සංඛ්‍යාව 215 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 69ක සබඳතාවක් සමඟිනි. පන්දු 112කින් ලකුණු 51ක් රැස් කළ මැතිව්ස් දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, ලකුණු 40ක් තුළ ශ්‍රී ලංකා අවසන් කඩුලු 5 බිඳ දැමීමට ලයන්ස් පන්දු යවන්නෝ සමත් වූහ. ධනංජය ද සිල්වා ලකුණු 66ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී ෆර්හාන් කඩුලු 3ක්, ලින්ඩන් ජේම්ස්, ජොෂ් හල් සහ සමාන් අක්තර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ තරගයේ අවසන් දිනය අදයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 139යි. (ඕවර 43.5) දිමුත් කරුණාරත්න 26, ප්‍රභාත් ජයසූරිය 20, මිලාන් රත්නායක 17, කුසල් මෙන්ඩිස් 12, දිනේෂ් චන්දිමාල් 12 (සමාන් අක්තර් 32/5, ජොෂ් හල් 30/3)

එංගලන්ත ලයන්ස් පළමු ඉනිම – 324 (ඕවර 89.2) හම්සා ෂෙයික් 91, කේසි ඕල්ඩ්‍රිජ් 78, බෙන් මැකින්නි 46 (ප්‍රභාත් ජයසූරිය 102/5, කසුන් රාජිත 51/2)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – 306 (ඕවර 87.1) නිශාන් මධුෂ්ක 77, ධනංජය ද සිල්වා 66, ඇන්ජලෝ මැතිව්ස් 51 (ෆර්හාන් අහමඩ් 87/3, ලින්ඩන් ජේම්ස් 34/2, ජොෂ් හල් 44/2, සමාන් අක්තර් 59/2)

ලයන්ස් දෙවැනි ඉනිම – 47/2 (ඕවර 7)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT