“ආර්ථික පරිවර්තන පනත මඟින් ජනාධිපතිතුමා හඳුන්වා දුන් ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන විට ඡායාරූපකරණ ක්ෂේත්‍රයට ද ස්වර්ණමය යුගයක් උදාවනු ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
“ගාලු පුරහලේ දී පැවැති ලෝක ඡායාරූප දින සමරු උත්සවය අමතමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.”
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් මේ සඳහා එක්ව සිටි අතර ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදු කළ ශිල්පීන් අගයමින් සම්මාන ප්‍රදානය ද මේ අවස්ථාවේ දී සිදු විය.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසුවේය.
“ඡායාරූප ක්ෂේත්‍රය සහ කර්මාන්තය මෙරට ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරුම් ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්‍යයන් කෙරෙහි සුවිශේෂී බලපෑමක් ඇති කරන ක්ෂේත්‍රයක්. විශාල පිරිසක් මෙම ක්ෂේත්‍රය තුළින් සිය ආදායම් මාර්ග උත්පාදනය කරගෙන තිබෙනවා. මෙම ක්ෂේත්‍රයට අවශ්‍ය කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ ආනයනය සඳහා වාර්ෂිකව අතිවිශාල පිරිවැයක් දරනු ලබනවා. ගෙවුම් ශේෂය කෙරෙහි විශේෂ බලපෑමක් සිදු කරනවා.
ආර්ථික වශයෙන් සුවිශාල දායකත්වයක් රටට සපයන මෙම විෂය ක්ෂේත්‍රයට නිර්මාණකරුවකු වශයෙන් මා හටද විශේෂ දායකත්වයක් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ඉතාමත් තරුණ අවධියේ දී තුන්වෙනි යාමය, සිරි මැදුර, සුද්දිලාගේ කතාව, අයෝමා, ද නිවුස් පේපර්, සහෝ වැනි සම්මානනීය චිත්‍රපට රැසක අර්ථපතිත්වය දරමින් රටට කීර්තියක් ලබාදීමට අපට අවස්ථාව හිමි වුණා. එමෙන්ම ක්ෂේත්‍රයේ පුරෝගාමී ඡායාරූප ශිල්පීන් සිනමා ශිල්පීන් විශාල පිරිසක් ඇසුරු කිරීමටද ඒ තුළින් අවස්ථාව හිමි වුණා. එම නිර්මාණ වෙනුවෙන් දැක්වූ දායකත්වය උදෙසා ලංකාවේ හොඳම චිත්‍රපට නිෂ්පාදකවරයාට හිමි සම්මානය තුන් වරක් දිනා ගැනීමේ අවස්ථාව මට හිමි වුණා. සිනමාවට එවැනි දායකත්වයක් දැක්වූ ලංකාවේ එකම දේශපාලනඥයා මා බව මා විශ්වාස කරනවා. එසේම රටේ ආර්ථිකය සවිමත් කිරීමේ දී විශාල විභවතාවයක්, ශක්‍යතාවක් මේ ක්ෂේත්‍රයට පවතිනවා.
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී, ගුවන් ගමන් බලපත්‍රය ලබා දෙන අවස්ථාවේ දී මෙන්ම මෘදුකාංගයක් හරහා ඩිජිටල් ක්‍රමයට ඡායාරූප ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය විසින් විෂය භාර අමාත්‍යවරයා ලෙස මාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඡායාරූප ශාලා හිමියන් ලබාගන්නා ඡායාරූප ඊට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය ඊට ඇතුළත් කර තිබෙන අතර ඒ පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමෙන් අනතුරුව, ඔබ සියලු දෙනාටම දායකවිය හැකි ආකාරයෙන් ඒ පිළිබඳ ටෙන්ඩරය එළඹෙන සතියේ දී ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි. ගුවන් ගමන් බලපත්‍රයට දායකවන ආකාරයටම ඉදිරියේ දී රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට ඡායාරූප ලබාදීමටද ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සාමාජිකයින්ට ඒ අනුව හැකියාව හිමිවනවා. අලුත් බලාපොරොත්තුවක්, අලුත් විශ්වාසයක්, අලුත් ආයෝජනයක් ඒ තුළින් අප බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ක්ෂේත්‍රය තවදුරටත් කාර්යක්ෂම වීමටත් ඵලදායී ආයෝජන අවස්ථාවක් ඇති කරගත යුතු වනවා.
ඊට සමගාමීව පත්තර මහගෙදර වන ලේක්හවුස් ආයතනයේ සියලු පුවත්පත් හරහා ඡායාරූප ශාලා හිමියන්ට සහභාගි විය හැකි ඡායාරූප තරගාවලියක් සංවිධානය කර ඊට ඉදිරිපත් කරන ඡායාරූප පුවත්පත් හරහා පළ කිරීමට මා විසින් සිදු කරන ලද යෝජනාව ලෙක්හවුස් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
පසුගිය කාලය තුළ ආර්ථිකයේ සිදුවූ කඩා වැටීම හේතුවෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනෙකුත් අංශයන් මෙන්ම ඡායාරූප ක්ෂේත්‍රයේ නිරත සියලු දෙනාත් විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ලාංකීය ආර්ථිකයේ දීර්ඝ කාලයක් තිස්සේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ පවතින්නේ හිඟයක්. ඉන් අදහස් කරන්නේ තේ, රබර්, පොල් සහ අනෙකුත් අපනයනයන් තුළින් ලබන විදේශ විනිමය ඉපැයුමට වඩා කිහිප ගුණයකින් වැඩි වියදමක් සහල් පිටි අල, ලූනු පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු පරිභෝජන භාණ්ඩත් ඛනිජතෙල් රසායනික පොහොර වැනි අන්තර් භාණ්ඩත් යන්ත්‍ර සූත්‍ර උපකරණ වැනි ආයෝජන භාණ්ඩත් ආනයනය සඳහා සෑම වසරකම වියදම් කරනවා.
අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩිවන විට ගෙවුම් ශේෂයේ වෙළඳ ගිණුමේ වෙළඳ හිඟයක් ඇතිවනවා. එම හිඟය පියවා ගැනීම සඳහා සේවා අපනයනය, සංචාරක ව්‍යාපාරය, විදේශයන්හි සිට සිදු කරන ප්‍රේෂණ තුළින් පමණක් එම හිඟය පියවා ගැනීමට හැකියාවක් නැහැ. එම නිසා පසුගිය වසරේ හැර 1977න් පසු සෑම වසරකම සෑම රජයක් යටතේම ජංගම ගිණුමේ හිඟයක් පැවතී තිබෙනවා. මෙම හිඟය පියවා ගැනීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගත යුතුයි. ඒ ද ප්‍රමාණවත් නොවන විට විදේශීය සංචිත ද භාවිත කරනු ලැබුවා. සංචිත නොමැති වන විට 2022 වන විට රටේ ඉන්ධන ගෑස් ඖෂධ හිඟයක් ඇති වුණා. අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීම තුළින් නිෂ්පාදන ක්‍රියාවලිය විශාල කඩා වැටීමකට ලක් වුණා. විදුලිය කප්පාදු කිරීමට සිදු වුණා. ආර්ථික අර්බුදය උත්සන්න වීම හේතුවෙන් විවිධ අන්තගාමී කණ්ඩායම්වල පෙලඹ වීමෙන් රටේ ඇති වූ අරගල තත්ත්වය හේතුවෙන් ඡායාරූප ක්ෂේත්‍රය පමණක් නොව සමස්ත පද්ධතියේම විශාල කඩා වැටීමක් සිදු වුණා.
මේ තත්ත්වය සමථයකට පත්කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම හේතුවෙන් මේ වන විට අප නිකුත් කරන ණයවර ලිපියක් ලෝකය පිළිගන්නා තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ තත්ත්වය මත ඡායාරූප ක්ෂේත්‍රයට අදාළ යෙදවුම් ආනයනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
මේ තත්ත්වය තුළ ජනතාව වශයෙන් සහ ව්‍යවසායකයින් වශයෙනුත් රටේ ආනයන වියදම අවම කරමින් අපනයන ආදායම වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ හැර මෙවැනි ආර්ථික ගැටලුවකට දේශපාලන විසඳුමක් නැහැ. ඒ සඳහා ඇත්තේ ආර්ථික විසඳුමක් පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ඇති කරගත් විස්තීරණ ණය ගිවිසුමට අනුව මේ වන විට රට නැවත හුස්ම ගන්නා තත්ත්වයට පත්ව තිබෙනවා. 30% දක්වා වර්ධනය වී තිබූ පොලිය 7%-8% දක්වා පහළ බැස තිබෙන්නේ ඒ හේතුවෙන්. 79% දක්වා වර්ධනය වී තිබූ උද්ධමනය තනි ඉලක්කමේ සංඛ්‍යාවකට මේ වන විට ළඟා වී තිබෙනවා. ඩොලරයේ අගය පහළ බැස තිබෙනවා.
ජනාධිපතිතුමාගේ මැදහත් වීම තුළින් ලෝකයේ රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව, ජපානය, ප්‍රංශය, ඉන්දියාව සමඟ නිල ණය කමිටුවක් පිහිටුවා ගනිමින් විදේශීය ණය ආපසු ගෙවන ආකාරය පිළිබඳ වෙන වෙනම ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන් අනුව කටයුතු කිරීම සඳහා අවශ්‍ය නීති රීති ඇතුළත් පනත් පහක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගනු ලැබුවා.
මීට පෙර සෑම රජයක්ම මුදල් මුද්‍රණය කර තිබෙනවා. මින් ඉදිරියට එලෙස මුදල් මුද්‍රණය කිරීමට නොහැකි වන ආකාරයට මහ බැංකු පනත සංශෝධනය කර තිබෙනවා.
අවශ්‍ය අවශ්‍ය ආකාරයට හිතුමතේ ණය ලබා ගැනීමට හැකියාවක් නැහැ. ණය පාලන පනතක් සම්මත කර තිබෙනවා.
අය-වැය ලේඛනය සඳහා විකාරරූපී දේවල් ඇතුළත් කිරීමට හැකියාවක් නැහැ. මූල්‍ය කළමනාකරණ වගකීම් පනතක් පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා.
අවශ්‍ය අවශ්‍ය ආකාරයට ප්‍රතිපත්ති වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ආර්ථික පරිවර්තන පනතක් සම්මත කර තිබෙනවා.
මින් ඉදිරියට අය-වැය සකස් කරන විට ප්‍රාථමික ගිණුමේ 2.3%ක අතිරික්තයක් පවත්වාගත යුතුයි.
ජංගම ගිණුමේ හිඟය 1%ට වඩා වැඩි විය නොහැකියි.
2032 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 95% දක්වා අඩු විය යුතුයි.
ණය සේවාකරණය 4.5% වඩා වැඩිවිය නොහැකියි.
රජය කවර දෙයක් ප්‍රකාශ කළත් රජයේ දළ මුදල් අවශ්‍යතාව 13%ට වඩා වැඩි විය නොහැකියි.
එම පනත් ක්‍රියාත්මක වීමේදී විශාල ආයෝජන ප්‍රමාණයක් රටට ළඟා කර ගත යුතුය. ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන වසා දමනවා. ඒ වෙනුවෙන් ක්ෂණිකව තීරණ ගත හැකි වෙනමම ආයතන ඇතිවනවා. වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්විය යුතුයි.
අරලිය සමූහ ව්‍යාපාර අධිපති, ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන මහතා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා, සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ අනුශාසක ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක මහතා, සභාපති උදය හපුවලාන මහතා, ලේකම් නික්සන් ඇඹුල්දෙණිය මහතා, භාණ්ඩාගාරික ෂර්ලි අමරසිංහ මහතා ඇතුළු නිලධාරීන්, සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්විය.