කෙරවලපිටිය “සොබාදනවි” ඒකාබද්ධ චක්‍රිය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
ශ්‍රී ලංකාවේ LTL හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් LNG සමාගම අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලදාරි හෝටලයේදී සිදුකෙරුණු අතර විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර හා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාණ්ඩේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදුවිණි.
ශ්‍රී ලංකාවේ LTL හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් LNG සමාගම එක්ව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය තාක්ෂණික ඇගැයීම් කමිටුවක් මඟින් ඇගැයීමට ලක් කිරීමෙන් පසු කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය අමතමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව, පිරිසුදු සහ වඩා තිරසාර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බවයි.
නුදුරේදීම ආරම්භ කෙරෙන කෙරවලපිටියේ සෝබාධනවි බලාගාරය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ LNG සැපයීම සඳහා LTL සහ PLL ඒකාබද්ධ සංවර්ධනයක් වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබෙන අතර මෙම යෝජනාව ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය මඟින් ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය සඳහා LNG හඳුන්වාදීමේ අතුරු ප්‍රතිඵලයක් බව ද ඒ මහතා පෙන්වාදෙයි.
එවැනි ප්‍රතිලාභයක් ශ්‍රී ලාංකේය විදුලි පාරිභෝගිකයන්ට ලබාදීම තුළින් ජනන පිරිවැය අඩු කිරීමට අපේක්ෂා කළ හැකි බව කී විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාවේ ආයතනවලට සහ බල අධිකාරියට මඟ පෙන්වන බව ද කියා සිටී. මෙම සහයෝගිතා හවුල්කාරිත්වය මඟින් සොබාධනවි බලාගාරයට LNG සැපයීම සඳහා අතුරු විසඳුමක් ලෙස Petronet’s Kochi terminal India වෙතින් ISO බහාලුම් හරහා කොළඹ වරායට LNG ආනයනය කිරීමේ පහසුකම් සංවර්ධනය කරන අතර කොළඹ වරායට පැමිණි පසු ISO බහාලුම් වරායේ නම් කර ඇති ගබඩා ප්‍රදේශයේ ගබඩා කරයි.
LTL Holdings Limitedහි බලශක්ති සංවර්ධන අංශය වන Lakdhanavi Limited මඟින් සංවර්ධනය කරන ලද හිමිකාරීත්වය දරන සහ ක්‍රියාත්මක කරන ලද සොබාධනවි බලාගාරය, රටේ බලශක්ති උත්පාදන හැකියාවන්හි සැලකිය යුතු දියුණුවක් නියෝජනය කරන අතර, එකතු කිරීම මඟින් වඩාත් තිරසාර සහ ආර්ථික වශයෙන් ශක්තිමත් බලශක්ති අනාගතයක් සඳහා වන රජයේ දැක්ම සමඟ සමපාත වන බව ද කංචන විජේසේකර මහතා කියයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාණ්ඩේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
රක්ෂණ ශ්‍රියන්ත