ශ්‍රී ලංකාවේ 09 වැනි ජනාධිපතිවරයා පත් කර ගැනීම වෙනුවෙන් දැන් කටයුතු සියල්ල සූදානම්ය. නාමයෝජනා ප්‍රකාශ කොට අවසන්ය. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 39 දෙනෙක් සූදානම් වෙති. සටන අරඹා ඇත. රට පුරා මැතිවරණ වේදිකා ද විවෘතය. තම තමන්ගේ අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙසට තෝරා පත් කර ගැනීම වෙනුවෙන් බොහෝ දෙනෙක් වේදිකාවට නඟිති. සැප්තැම්බර් මස 21 දා ඡන්දය පැවැත්වේ. මේ කරුණු කාරණා එසේ වෙද්දී ජනාධිපතිවරයකුගේ කාර්යභාරය කෙසේ වන්නේද යන්න මෙම ලිපියෙන් ගෙන හැර දක්වමු.
ජාතික ප්රතිසන්ධානය සහ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට වග බලා ගැනීම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ 7 (අ) ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරීත්වය පහසු කරලීම.
මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම සහ තහවුරු කිරීම.
පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමට බලය ඇත.
පාර්ලිමේන්තු මංගල රැස්වීම්වල මුලසුන දැරීම.
පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවා හැරීම සහ වාර අවසන් කිරීමේ බලය.
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, රාජ්‍ය දූතයන්, වෙනත් තානාපති නියෝජිතයන් පත් කිරීම සහ ඔවුන්ට බලතල පැවරීම මෙන්ම ඔවුන් පිළිගැනීමට ද බලය ඇත.
නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇත්තාවූ ද, පැවැත්මෙහි හා වෘත්තීය කටයුතු අවංකභාවයෙහි උත්කෘෂ්ට තත්ත්වයක් පවත්වාගෙන ඇත්තාවූ ද නීතිඥයන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමේ බලය ද ඇත.
ජනරජයේ රාජ්‍ය මුද්‍රාව තම සන්තකයේ තබා ගැනීම සහ අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලයේ අනෙක් ඇමැතිවරු, අගවිනිසුරු සහ අනෙක් විනිශ්චයකාරවරු පත්කිරීමේ අධිකාරි පත්රවලට රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් තැබීම. ජනරජයට අයත් ඉඩකඩම් හා නිශ්චල දේපළ ප්රදානය කිරීමේ දී හෝ පවරා දීමේ දී මෙන්ම රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමේ බලය.
යුද්ධය ප්‍රකාශ කිරීමට සහ සාමය ප්‍රකාශ කිරීමට ඇති බලය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට පටහැණි නොවන්නාවූ ද ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ජනාධිපතිට බලය ලැබී ඇත්තාවූ හෝ නියමිතව ඇත්තා වූ සියලු ක්‍රියා හා දේ කිරීමට බලය ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාවේ සඳහන් වේ.
ශ්‍යාමා සමරසිංහ