Thursday, May 15, 2025
Home » අලුත් ව්‍යවස්ථාවකට අලුත් යෝජනාවක්

අලුත් ව්‍යවස්ථාවකට අලුත් යෝජනාවක්

by sachintha
August 21, 2024 1:30 am 0 comment

අප රට තුළ පමණක් නොව ගෝලීය වශයෙන් ලොව පුරා ව්‍යාප්තව ඇති ‘ජාති ආගම්වාදී’ විවිධ වාදභේද විෂමතා නිසරු හරසුන් ප්‍රලාපයන් වග මෙරට

වගකිව යුතු නායක කාරකාදීන්ට අවබෝධ වීම රටේත් ජනයාගේත් වාසනාවෙක් මැයි. දේශ හිතෛෂි උගත් නූගත් බුද්ධිමත් සියලු පුරවාසීන්ගේ එකාවන් සහයෝගය ද ආශීර්වාදය ද අනුග්‍රහය ද ඒ සඳහා ලැබෙනු ඇත.

‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය පදනම් වූ අරමුණු සහ යෝජනා පෙරදැරි කරගත් රටට පොදු ‘නව ව්‍යවස්ථාවක්’ සම්පාදනය කිරීමට වගකිව යුතු අදාළ බලධාරින් සූදානම්ව සිටිතැයි වාර්තා එහෙන් මෙහෙන් අසන්නට ලැබේ. එය ඉතාම සාරාර්ථවත් කාලෝචිත යුගයේ අවශ්‍යතාවකි. හරවත් යෝජනාවකි. සමාජගත ශාන්තියකි.

අප රට තුළ පමණක් නොව ගෝලීය වශයෙන් ලොව පුරා ව්‍යාප්තව ඇති ‘ජාති ආගම්වාදී’ විවිධ වාදභේද විෂමතා නිසරු හරසුන් ප්‍රලාපයන් වග මෙරට වගකිව යුතු නායක කාරකාදීන්ට අවබෝධ වීම රටේත් ජනයාගේත් වාසනාවෙක් මැයි. දේශහිතෛෂි උගත් නූගත් බුද්ධිමත් සියලු පුරවාසීන්ගේ එකාවන් සහයෝගය ද ආශිර්වාදය ද අනුග්‍රහය ද ඒ සඳහා ලැබෙනු ඇත.

ඒ අනුව එකී යෝජිත නව ව්‍යවස්ථාවට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු යැයි හැඟෙන නව යෝජනා කිහිපයක් ගැන මේ තුළින් සියලු දෙනාගේ අවධානය යොමු කරවනු ලැබේ. අපේක්ෂිත එම යෝජනාව අන්තර්ගතයන් හේතු ඵල හා ශූභාශුභ යථාර්ථවාදීව හා අන්තවාදයෙන් බැහැරව මැදහත්ව විමසා බැලීම සියලු නායක කාරකාදීන්ගේ යුතුකම හා වගකීම ද වෙනවා ඇත. අදාළ යෝජනා කිහිපයක් පහත දැක්වේ.

1. දැනුම ‘ජාති ආගම්වාදය’ මිනිසාගේ උප්පැන්න සහතිකයෙන්ම ආරම්භ වන හෙයින් ඒ ක්‍රමය වෙනස් විය යුතුව ඇත. එහෙයින් වර්තමාන පරම්පරාවේ උප්පැන්න සහතිකවලින් දැනට භාවිත කෙරෙන ඒ ඒ ජාති නාම වෙනස් කිරීම අසීරු වුවත් උපත ලබන අනාගත පරපුරේ හෝ උප්පැන්න සහතිකයේ ජාතිය යන ශීර්ෂය තුළ දැනට සඳහන් කෙරෙන ‘ජාතිනාම’ ඉවත් කොට එතැනට ඒ වෙනුවට ශ්‍රී ලාංකික යන්න සියලු දරුවන්ගේ උප්පැන්න සහතිකවල සඳහන් විය යුතුය. සද්භාවයෙන්ම ජාති ආගම්වාදය පිටු දකින්නේ නම් ඒ එසේ විය යුතුමය. ඒ තුළින් අනාගතයේදී හෝ ශ්‍රී ලාංකික එක් ජාතියක් සංවිධානය වනු ඇත.

2. රට තුළ එකම ජාතික අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බැවින් දැනට රට පුරා ක්‍රියාත්මක වන ‘ජාති ආගම්වාදී පාසල්’ හා අධ්‍යාපන ආයතන පොදු ජාතික අධ්‍යාපන ක්‍රමය තුළම අන්තර්ගත විය යුතුය. ඒ තුළින් ජාති ආගම්වාදී පාසල් අධ්‍යාපන ක්‍රමය ඉවත් කළ යුතුය.

3. ඉහත (2) යෝජනාව අනුව ජාතික අධ්‍යාපන ධාරාව ක්‍රියාත්මක වීමේදී සියලු දරුවන්ට සඵලදායි විය යුතු ආකාරයෙන් අදාළ පාසල් විෂය නිර්දේශයන් ද සකස් විය යුතුය. ඒ අනුව පාසල් අධ්‍යාපනයේ ප්‍රාථමික අවදියේ පටන් උසස් අධ්‍යාපනය දක්වාම සියලු දරුවන්ට සිංහල, ඉංග්‍රීසි, දමිළ භාෂාත්‍රයම ඉගෙනීම සහ බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් යන ආගම්වල මූලිකාංගයන් ද හැදෑරීම අනිවාර්ය වන පරිද්දෙන් අදාළ විෂය නිර්දේශ මාලාවන් සකස් විය යුතුය.

4. මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන හුදෙක් ජාති ආගම් හෝ පෞද්ගලිකාර්ථයන් කේන්ද්‍ර කරගත් සියලුම ජාති ආගම්වාදී පටු දේශපාලන පක්ෂ විසුරුවා හල යුතු අතර, එවැනි දේශපාලන පක්ෂ නැවත ආරම්භ කිරීමද තහනම් විය යුතුය. ඒ සමඟම සියලු ජනයාට පොදු වූ ජාතික දේශපාලන පක්ෂ සංවිධානය විය හැකි අතර, ඒවා ද සංඛ්‍යාවෙන් සීමා කිරීම ව්‍යවස්ථාව තුළින්ම සිදු විය යුතුය.

5. රටේ මූලික නීතිය වන ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ එක් ජාතියකට හෝ ආගමකට ප්‍රමුඛ ස්ථානය හිමි වන ලෙස සම්පාදනය නොවිය යුතුය. එබැවින් අපේක්ෂිත නව ව්‍යවස්ථාව සර්ව සාධාරණ සමානාත්මතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය කේන්ද්‍රගත වූවක් විය යුතුය. එය යම් ආගමක ව්‍යවස්ථාවක් නොවිය යුතුය.

6. දැනට ව්‍යවහාරය අනුව රට තුළ ඇතැම් විට ජාතීන් වශයෙන් ද ඇතැම් විට එකම ජාතිය තුළ විවිධ විවාහ නීති ක්‍රියාත්මක වන හෙයින් ඒ සියලු ආකාරයේ විවාහ නීතින් අවලංගු කොට සැමට පොදු සාධාරණ එක් විවාහ නීතියක් පමණක් නීතිගත විය යුතුය. අදාළ බලධාරින් ඊට උචිත පරිදි නිසි පියවර ගත යුතුය.

ඉතා කෙටියෙන් දක්වා ඇති ඉහත සඳහන් යෝජනා සුදුසු පරිදි විධිමත් ආකාරයෙන් සකස් කොට යෝජිත නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඒ සඳහා ඇපකැප වන අදාළ බලධාරින්ගේ හා නායක කාරකාදීන්ගේ පරම යුතුකම හා වගකීමද වනවා ඇත. එසේ වුවහොත් ඒ අයට යුගයේ ජාතික වීරයන් ලෙස ගරු බුහුමන් ද හිමි වනවා ඇත. එසේම එක රටක් හා එක් නීතියක් ආගම කර ගත් ශ්‍රී ලාංකික එක් ජාතියක් නිර්මාණයේ පියවරුන් හා දේශයේ ගැලවුම්කරුවන් ද වනවා ඇත.

එච්.බී.ආර්. වෑග­න්තලේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT