Home » මර්දනය-භීෂණය මැද පැවති 1988 ජනාධිපති සටන

මර්දනය-භීෂණය මැද පැවති 1988 ජනාධිපති සටන

by sachintha
August 21, 2024 1:16 am 0 comment

1988 ජනාධිපතිවරණය ප්‍රකාශ කරන ලද සමය තුළ ඔවුන් රට පුරා සිය ප්‍රචණ්ඩත්වය දියත් කළේය. හමුදා කඳවුරුවලට පහරදී ආයුධ පැහැර ගැනීම්, වැලිකඩ හිර ගෙදරට පහරදී සිරකරුවන් 222ක් නිදහස් කර ගැනීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඔවුහු සිදු කළහ.

1988 ජනාධිපතිවරණය පැවැතියේ සාමාන්‍ය වාතාවරණයක් තුළ නොවේ. එදා පැවැතියේ දෙකොන ගිනි ගත් විලක්කුවක් වූ රටකි. පසෙකින් උතුරේ සටන්කරුවන්ය, දකුණේ තිබුණේ කැරලිකරුවන් සහ හමුදා අතර සටනකි. මේ තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වීම දැලිපිහියෙන් කිරි කනවාටත් වඩා අමාරු දෙයක් බවට පත්ව තිබුණි. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ඇති වුණු අරගලය නාඳුනන තුවක්කු කරුවන් අතට පත්ව තිබුණි. දේශපාලන පක්ෂ තහනම ඇතුළු කරුණු නිසා තරුණ කණ්ඩායම් තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තිබු විශ්වාසය හීන වෙමින් තිබුණි. මේ එවැනි වාතාවරණයක් මැද පැවැති 1988 ජනාධිපතිවරණය පිළිබඳව එකල පුවත්පත් වාර්තා ඇසුරෙන් සකස් කළ සටහනකි.

ජනාධිපතිවරණයට ඡන්දය දැමීමට යන ඡන්දදායකයන්ට මරණීය දණ්ඩනය නියම කර තිබූ 1988 දෙසැම්බර් 19 සඳුදා පැවති ශ්‍රී ලංකාවේ දෙවන ජනාධිපතිවරණය සඳහා ඡන්දය දීම වළක්වතොත් ඒ අයට රජය විසින් හදිසි නීතිය යටතේ මරණ දඬුවම ලබාදීමට නව නීති ගෙන එන ලදි. ජනාධිපතිවරණයේදී ඡන්දය දීමෙන් වළකින ලෙස කට වචනයෙන් හෝ ලිපි ලේඛන මඟින් මහජනතාවට බල කරන කවර පුද්ගලයකුට හෝ එරෙහිව මරණ දඬුවම ඇතුළු තදබල දඬුවම් පැනවිය හැකි අන්දමින් හදිසි නීතිය යටතේ නව නීති පැනවීමට රජයට සිදුවිය.

එකල පැවති රජයට මෙම පියවර ගැනීමට සිදු වූයේ 1988 ජනාධිපතිවරණය අඩාළ කිරීමට එකල පැවති ඇතැම් විරුද්ධ දේශපාලන මත දරන පුද්ගලයන් විසින් සැලසුම් කර තිබූ මැතිවරණ වර්ජන ව්‍යාපාර අසාර්ථක කිරීමේ අරමුණණි.

ඡන්දය පාවිච්චි නොකරන ලෙසට කෙරෙන ඉල්ලීම් රැසක් පෝස්ටර්, දැන්වීම් හා ජනමාධ්‍ය අංශවලින් කෙරෙන ප්‍රකාශන මර්දනය කිරීම මෙම නව නීති රීතිවල අරමුණ විය.

මේ වැරදි වෙනුවෙන් සිරදඬුවම්, දඩ හා මරණ දණ්ඩනය ආදී දඬුවම් ලබාදීමට එකල රජය අදහස් කර තිබුණි.

1983 ජාතිවාදී කෝලාහල ඇවිළීමේ චෝදනා යටතේ ජයවර්ධන රජය විසින් ජනතා විමුක්ති පෙරමුණත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්, නව සමසමාජ පක්ෂයත් තහනම් කළේය. නීති විරෝධී කරන ලද ජනතා විමුක්ති පෙරමුණ රහසේ සංවිධානය විය. ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කරන ලද්දේ රජය මේ තහනම් කිරීමෙන් පසුවය. 1987 ජේ. ආර්. – රජිව් ගිවිසුමට එරෙහිව රටපුරා මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් එම ගිවිසුමේ අතුරු ප්‍රතිඵලයක් වූ පළාත් සභා පිහිටුවීම පිළිබඳව ඔවුන් බැලුවේ වපර ඇසකිනි. ඉන්දියානු හමුදාව ලංකාවට පැමිණීම ගැන ජනතාවගේ අවධානය යොමුවී තිබුණි.

1988 ජනාධිපතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට රහස් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුව ද එය අසාර්ථක විය.

ඉන්පසු ඇතැම් ප්‍රධාන පක්ෂ විසින් සිය සටන් පාඨය කර ගත්තේ ජනාධිපතිවරණ ඡන්දය වර්ජනය කිරීමයි.

එය දිවයින පුරා ප්‍රචණ්ඩ ලෙස ක්‍රියාවට නැංවූයේය.

ඉන්දු ලංකා සාම ගිවිසුමට එරෙහිව නැඟුණු ජනතා විරෝධයත් සමඟම සන්නද්ධ බළකායක් කරළියට ආයේය. එක් තුණ්ඩු කැබැල්ලකින් ජාතික ශෝක දින ප්‍රකාශ කරන්නටත්, කඩසාප්පු ඇතුළු වෙළෙඳ ව්‍යාපාර වසාදමන්නටත්, ප්‍රවාහන සේවා අඩාළ කරන්නටත් සමත් විය. එසේම

තමන් අනුමත නොකරන දේශපාලන කටයුතුවල යෙදුණු පුද්ගලයන් කිසිදු අනුකම්පාවකින් තොරව මරා දමනු ලැබීය.

1988 ඔක්තෝබර් 22 වැනි දින නිකුත් කරන ලද එවන් නිවේදනයක මෙසේ සඳහන් වී තිබුණි.

Ò රටේ පවතින තත්ත්වය හේතුකොටගෙන අගමැති ප්‍රේමදාසට අකැමැත්තෙන් ජනාධිපති අපේක්ෂක ධුරය පිරිනැමුව ද ජයවර්ධන ගාමිණී දිසානායක කල්ලිය විසින් අගමැති ප්‍රේමදාසටත් පිටුපසින් සිට දක්ෂිණාංශික හමුදා කුමන්ත්‍රණයක් මඟින් දිගටම බලයේ රැඳී සිටීමේ වැඩපිළිවෙළක් සඳහා කටයුතු සූදානම් කරමින් සිටී. සන්නද්ධ හමුදාවලත්, ඉන් පිටතත් සිටින ඉන්දීය අධිරාජ්‍යවාදයේ සරණ ගිය කොටසුත්, ජ්‍යෙෂ්ඨත්වය හෝ හැකියාව හෝ දක්ෂතාවය හෝ උඩ නොව නීති විරෝධී ආණ්ඩුව වෙනුවෙන් දේශප්‍රේමීන් සංහාරය කිරීම උඩම උසස්වීම් හා තනතුරු ලැබූ සන්නද්ධ හමුදා හා පොලිස් අපරාධ හමුදාත්, මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික හමුදාත් උපයෝගී කරගෙන ඉන්දීය ගැති මිලිටරි ජුන්ටාවක් අවසාන මොහොතේදී හෝ ඇටවීමේ සූදානමක් දැන් දැන් රහසිගතව කටයුතු ලහි ලහියේ සූදානම් කරමින් සිටින බවට දේශප්‍රේමී ජනතාවට එක එල්ලේම අනතුරු හඟවන අපි එවැනි වියරු ප්‍රයත්නයක් පැරදවීම සඳහා කම්කරු පංතියේ ප්‍රගතිශීලී දේශප්‍රේමී කොටස්වලත්, දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයටත්, සටනට සූදානම් වන ලෙස ආයාචනය කරයි. ”

මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දිවි පුදන අවංක දේශප්‍රේමීන්ගේ මළ කඳන් උපයෝගී කරගෙන කිසිවකුටත් යළිත් වතාවක් ජනතාව රවටා මුළාකර බලයට ඒමටත්, යළිත් ජනතාව තවත් ප්‍රපාතයට ඇද දැමීමටත් ඉඩ නොදෙන බවටත් ප්‍රකාශ කරන අතර එදා ශ්‍රී ලංකා සමසමාජ – කොමියුනිස්ට් හවුල් ආණ්ඩුවේ වැරදි උපයෝගි කරගෙන ජයවර්ධන – තොණ්ඩමන් හවුල් ආණ්ඩුව බලයට පත්වූවා සේ අද එහි වැරදි උපයෝගි කරගෙන එම ප්‍රතිපත්තියම විශේෂයෙන් ජයවර්ධන තොණ්ඩමන් හවුල් ආණ්ඩුවේ ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය එනම් කළුකඩ ප්‍රතිපත්තියම එහි ඉන්දීය ගැති අධිරාජ්‍ය ගැති විදේශ ප්‍රතිපත්තියම ගෙනයාමට වෙනත් කණ්ඩායමක් බලයට පත් කිරීම තේරුමක් නැති බවත්, එයින් ප්‍රශ්න තව තවත් උග්‍රවන බවත් එයට කිසිදු ඉඩක් දිය නොහැකි බවත් සමස්ත ජාතියම හමුවේ අභීතව ප්‍රකාශ කර සිටිමු. එවැනි ප්‍රයත්නයන් පැරදවීම සඳහා අප සමඟ එක්වන ලෙස සමස්ත දේශප්‍රේමී ජනතාවගෙන්ම අපි තරයේ ඉල්ලා සිටිමු.

ඉන් පසුව 1988 දෙසැම්බර් 19 පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබූ ප්‍රධාන පක්ෂ තුනක් වූ එක්සත් ජාතික පක්ෂයට ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද ශ්‍රී ලංකා මහජන පක්ෂයට ද ඔවුන් ප්‍රචණ්ඩත්වය දියත් කළේය. 1988 ජනාධිපතිවරණය ප්‍රකාශ කරන ලද සමය තුළ ඔවුන් රට පුරා සිය ප්‍රචණ්ඩත්වය දියත් කළේය. හමුදා කඳවුරුවලට පහරදී ආයුධ පැහැර ගැනීම්, වැලිකඩ හිර ගෙදරට පහරදී සිරකරුවන් 222ක් නිදහස් කර ගැනීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඔවුන් සිදු කළේය. ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි නාඳුනන තුවක්කුකරුවන් විසින් ඡන්දය දීමට යන පළමුවෙනි පස්දෙනා ඝාතනය කරනු ලබන බවට තර්ජනය කළේය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු ඇතුළු 104ක් ජනාධිපතිවරණ සමයේ මරා දමන ලදි.

සිරිමාවෝ මැතිනිය සහභාගි වූ ජනාධිපතිවරණ රැස්වීම් කිහිපයකට ඔවුන් බෝම්බ ප්‍රහාර ද එල්ල කර තිබේ. එමෙන්ම මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකරගේ කඩවත පැවති රැස්වීමකටද බෝම්බ ප්‍රහාර එල්ල කළේය.

ඡන්දය පැවති දිනවල තේරීම් භාර නිලධාරින් මෙන්ම රජයේ නිලධාරීන් මැතිවරණ කටයුතුවල යෙදවීම මහත් අපහසු කාර්යයක් විය. ඇතැම් රාජ්‍ය නිලධාරීන් තර්ජන නිසා ජනාධිපතිවරණ මැතිවරණ කටයුතුවල යෙදීමෙන් ඉවත් විය.

දකුණේ නාඳුනන කැරලිකරුවන් විසින් ආරම්භ කළ භීෂණය ජනාධිපතිවරණය ආසන්න වෙත්ම වෙනත් දාමරික හා නිලලත් මැරවර කණ්ඩායම් ලෙසින් ඉදිරියට ගෙන යනු දක්නා ලදි. මෙම භීෂණය වැඩිම වශයෙන් එල්ල වූයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙතය. නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරවලින් වැඩිපුරම මිය ගියේ ඒ අයයි.

බණ්ඩාරනායක මැතිනිය රැස්වීම් අමතමින් සිටියදී බෝම්බ ගසා ඇය ඝාතනය කිරීමේ උත්සාහයන් දෙකක් හිඟුරක්ගොඩදී සහ රත්මලානේදී දරුණු අන්දමින් සිදු විය.

1988 දෙසැම්බර් 19 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ආර්. ප්‍රේමදාස මහතා ජය ගත්තේය.

ආර්. ප්‍රේමදාස එ.ජා.ප. 25,69,199 (50.43%)

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී. ල.නි. ප. 22,89,860 (44.95%)

ඔස්මන් අභයගුණසේකර ශ්‍රී. ල. ම. ප. 2,35,719 (4.63%)

නරක් වූ ඡන්ද 91,445

වැඩි ඡන්ද – දෙලක්ෂයකට වැඩි ප්‍රමාණයක්

දෙවැනි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කුමක් වුවත් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයෙහි විශාල බිඳ වැටීමක් පවත්නා බව මැනවින් ප්‍රකාශ විය.

මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්දය එකල පැවති භීෂණය නිසා පැවැත් වූයේ නැත. එක් ඡන්දපොළක් අධික වෙඩි තැබීම් නිසා කඩාකප්පල් විය.

දිස්ත්‍රික්ක දහතුනක ඡන්ද පොළවල් 207ක ඡන්ද පෙට්ටි එකම පත්‍රිකාවක්වත් නොමැතිව ආපසු එවා තිබිණි. එවැනි ඡන්දපොළවල් පොලොන්නරුව හැර මාතර සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 13ක් පුරා විසිර තිබිණි. මේ ලැයිස්තුවේ 207ක් වූ මුළු ඡන්ද පොළවල් සංඛ්‍යාවෙන් 79ක්ම මාතර තිබීමෙන් එම දිස්ත්‍රික්කයට ප්‍රමුඛත්වය හිමිවිය. කඹුරුපිටිය හා හක්මන මැතිවරණ බලප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කර තිබූණේ දිවයිනෙන්ම අඩුම ප්‍රතිශතයකින්ය. හක්මන ඡන්දදායකයන් 65407කින් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 2862 දෙනකු පමණි. කඹුරුපිටියේ 63590කින් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ ඡන්දදායකයන් 4650ක් පමණි.

මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාවට අනුව ඡන්ද මධ්‍යස්ථාන පනහකට වැඩි ස්ථානවල බෝම්බ පිපිරීම් සිදුවී ඇත. අනාරක්ෂිතභාවය නිසා ඡන්ද නිලධාරීන් වෙනත් ස්ථානවල නතර කිරීම්, ඡන්දය විමසීම් ප්‍රමාදවීම්, ඡන්ද මධ්‍යස්ථාන වෙනත් තැන්වලට ගෙනයාම්, ගස් කපා පෙරළා දමා මාර්ග අවහිර කිරීම්, විදුලි කණු සහ දුරකතන කණු පාර හරහා පෙරළා දැමීමෙන් අවහිර කරනු ලැබීම්, අවට වෙඩි තැබීම් හා බෝම්බ පිපිරීම් ආදිය සිය ගණන් සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ වාර්තා වී තිබිණි.

ශ්‍රී ලංකාවේ මැතිවරණයකදී තමන්ගේ රාජකාරි ඉටුකිරීම සඳහා මැතිවරණ නිලධාරින්ට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට සිදුවූ ප්‍රථම ඡන්ද විමසීම මෙය විය. කච්චේරි හා ඡන්දපොළවල් අතර ගමන් කරමින් සිටියදී පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබීම මැතිවරණ කාර්ය මණ්ඩලයට මෙන්ම පොදුවේ රජයේ සේවයට ද අතිමහත් දුක්ඛදායක සිද්ධියක් විය.

මොණරාගල දිස්ත්‍රික්කයේදී එවැනි සිද්ධියකට බිලි වූයේ සහකාර තේරීම් භාර නිලධාරියකු ලෙස සේවය කිරීම සඳහා කොළඹින් යවන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. (සහකාර රබර් පාලක එස්. එස්. අබේසුන්දර මහතා), ඔහුගේ රාජකාරිය ඡන්දපොළවල් අධීක්ෂණය කිරීමට පමණක් සීමාවීමට ඉඩ තිබිණි. දෙසැම්බර් 18 වැනිදා සවස අවසාන භාගයේදී ඡන්දපොළවල් භාරව යාමට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ගේ අඩුවක් පෙනී ගිය බැවින් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කිරීම සඳහා හෙතෙම ඉදිරිපත් විය. අනික් ආරක්ෂක නිලධාරීන් ද සමඟ බුදුරුවගල මාර්ගයේ තම ඡන්දපොළට යමින් සිටි අතර වෙඩි වැදීමෙන් ඔහු හා අනික් අය තුවාල ලැබුවේය. රෝහල්ගත කිරීමට ප්‍රථමයෙන් ඔහු මිය ගොස් තිබුණි. අනෙක් සිද්ධියේදී ඡන්ද පෙට්ටි රැගෙන බදුල්ල කච්චේරියට යමින් සිටි බදුල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයකු වූ (ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ලුණුගල ප්‍රාදේශීය නිලධාරි ඇම්. ඒ. ගුණවර්ධන මහතා සහ රියැදුරු ඩබ්ලිව්.ජී. ජයරත්න මහතා) තම රියැදුරු ද සමඟ වෙඩි පහරකට ලක් වී මිය ගියහ.

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතරම් භීෂණයට ලක් වූ ඡන්ද විමසීමක් මෙතෙක් තිබුණේ ද යන්න ඉතාමත් සැක සහිතය.

1988 නොවැම්බර් මස හා දෙසැම්බර් මස දිනමිණ පුවත්පත් ඇසුරින් හා මළල්ගොඩ බන්දුතිලකයන්ගේ ශ්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය පොත ඇසුරෙනි.

නන්දික බැද්දේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT