Friday, May 16, 2025
Home » ජනාධිපතිවරණ සඳහා ස්ත්‍රී සහභාගීත්වය

ජනාධිපතිවරණ සඳහා ස්ත්‍රී සහභාගීත්වය

by sachintha
August 21, 2024 1:33 am 0 comment

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දෙස ආපසු හැරී බැලුවහොත් එහි ප්‍රධාන දායකත්වය කාන්තාව සතු වේ. විදේශ විනිමය ගෙනෙන තේ කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, විදේශ රැකියා ක්ෂේත්‍රය නඩත්තු වන්නේ කාන්තාවගෙන්ය. පවුල්වල හා දරුවන්ගේ අනාගතය රැඳී ඇත්තේ ද පවුලේ බිරිය මතය. නැතහොත් අම්මා මතය.

එහෙත් රටේ තීන්දු තීරණ ගැනීමේදී ඇයගේ සහභාගිත්වය බිංදුවකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ආසියා – පැසිෆික් කලාපයේ රටවල් අතරින් දේශපාලන විෂයයෙහිලා කාන්තා නියෝජනය අඩුම රටවල් තුන වන්නේ ඇෆ්ගනිස්ථානය, ඉරානය හා ශ්‍රී ලංකාවයි. ඇෆ්ගනිස්ථානයේ හා ඉරානයේ ආගමික බලපෑම් නිසා කාන්තාව දේශපාලනයෙන් දුරස් වී ඇතැයි සිතන්නට කරුණු ඇතිමුත් ශ්‍රී ලංකාවේ එබඳු ආගමික බලපෑමක් නැත. රටේ ප්‍රධාන ආගම වූ බුදුදහම කාන්තා නිදහස ඉහළින්ම අනුමත කර තිබේ. ස්ත්‍රීන්ට විශේෂ තහංචි පනවන නීතියක් හා සම්ප්‍රදායක් ද රට තුළ තහවුරු වී නැත. එහෙත් මෙරට කාන්තාවගේ දේශපාලන නියේජකත්වය ඉතා අඩුය. සංඛ්‍යාත්මකව ගතහොත් එය 3%කට පහළින් පවතියි. බමුණු මතවාද හා මිථ්‍යා විශ්වාස අධික ඉන්දියාවේ පවා ජාතික දේශපාලනයෙහිලා කාන්තා නියෝජකත්වය 10%කට වැඩිය.

හින්දු ඇදහිල්ල ඉන්දියාවේ ප්‍රධාන ආගම වන අතර එහි එන පුරාණ මතවාදවලට අනුව කාන්තාව සිය ළමා අවධිය මව්පියන් යටතේද, තරුණ අවධිය සිය පුරුෂයා යටතේ ද, මහලු විය දරුවන් යටතේ ද ගත කළ යුතුය. ස්වාධීන මතයක් දරමින් නිදහසේ ජීවත්වීමට ඉඩක් ඉන්දීය කාන්තාවට නැත. එහෙත් අද වනවිට එය වෙනස් වෙන්නට පටන්ගෙන තිබේ. සැබෑවටම ඉන්දීය කාන්තාව ඉතා ශීඝ්‍ර‍ෙයන් තම ආධිපත්‍යය පතුරන්නට පටන්ගෙන ඇත. ශ්‍රී ලංකාවේ කාන්තාව ඒ අතින් බොහෝ පසුගාමීය.

දාහත්වැනි සියවසෙහි මැදභාගය පමණ වන විට යුරෝපය පුරා කාන්තා සංවිධාන බිහිවිය. ඒවායෙහි ප්‍රධාන ඉලක්කයේ වූයේ කාන්තාව බලපෑම්කාරී ශක්තිමත් බලවේගයක් ලෙස බලගැන්වීමය. මධ්‍යම පන්තියේ වැඩ කරන කාන්තාව මේ බලවේගයට එකතු වූවාය. ස්ත්‍රීන්ගේ නිදහස හා සමානාත්මතාව රටේ මූලික නීතියට ඇතුළත් කරවීම එම සංවිධානවල පළමු ඉලක්කය විය. යුරෝපයෙන් ආරම්භ වූ කාන්තා සංවිධාන පසුව අප්‍රිකාව, ලතින් අමෙරිකාව, ආසියාව පුරා පැතිර යන්නට පටන් ගත්ත්ය. දහනවවන සියවස වන විට එය ස්ත්‍රීවාදය ලෙසින් හැඳින්විණි. මුලදී සමාජවාදී ව්‍යාපාරයේ කොටසක් බවට පත්ව තිබූ ස්ත්‍රීවාදය පසුව ස්වාධීන සමාජ ව්‍යාපාරයක් ලෙස පැවැතුණේය. මේ සංවිධාන හා බලවේග නිසා කාන්තාව ලබාගත් ජයග්‍රහණ ගණනාවක් ද තිබේ.

(I) සමාන වැටුප්, සමාන රැකියා අවස්ථා හා සමාන පහසුකම් ලබා ගැනීම

(II) ස්ත්‍රීන් විෂයයෙහිලා විශේෂ වූ ප්‍රසූත නිවාඩු ආදිය ලබා ගැනීම

(III) ස්ත්‍රියගේ සමානාත්මතාවට අදාළ කරුණු එකිනෙක රටවල්වල මූලික නීතියට ඇතුළත් කර ගැනීම

(IV) අධිෂ්ඨානශීලී හා සක්‍රිය සමාජානුයෝජනයක් සහිත කාන්තා කණ්ඩායම් බිහිකිරීම

අපේ අතීත රජ දවස දෙසට අවධානය යොමු කළහොත් කාන්තාව අද මෙන් පසුගාමී තැනක නොසිටි බව පෙනෙයි. නිශ්ශංකමල්ල රජ සමයෙහි කොටන ලද ශිලා ලේඛනයක දැක්වෙන පරිදි මහ රජුට පුත්‍රයකු හෝ ඥාති පුත්‍රයකු හෝ නොසිටියහොත් අග මෙහෙසිය රජුගේ මරණයෙන් පසු රාජ්‍යත්වය භාරගත යුතුය. එය නීතියක් ලෙස සම්මත කරගෙන තිබූ බව පෙනෙයි. අපේ රාජාවලියෙහි පළමු රැජන අනුලා බිසව විවිධ ආරවුල්වලට මුහුණ දෙමින් සිය නායකත්වය ගෙන ගිය නිර්භීත රැජනකි. ලීලාවතී මහරැජන, කල්‍යාණවතී මහ රැජන දක්ෂ ලෙස රාජ්‍ය පාලනය ගෙන ගිය දෙදෙනෙකි. අපේ ඉතිහාසය හා සම්ප්‍රදාය තුළ කාන්තා නායකත්වයට බාධාවක්, තහංචියක් තිබූ බවක් නොපෙනෙයි.

බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු ශ්‍රී ලංකාවේ නායකත්වය භාරගත් සිරිමාවෝ මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙසින් ගෞරවයට පාත්‍ර වූවාය. මුලදී දේශපාලනයට ප්‍ර‍ෙව්ශ වීම ප්‍රතික්ෂේප කළ ඇය පසුව ඉතා දක්ෂ ලෙස රාජ්‍ය පාලනයෙහි නිරත වූවාය. කොළඹ දී නොබැඳි සමුළුව පැවැත්වූයේ ඇයගේ නායකත්වය යටතේය. එම ලෝක සමුළුව අති සාර්ථක ලෙස පැවැත්වීමට මැතිනිය සමත් වූ අතර ඒ නිසාම අන්තර්ජාතික වශයෙන් ඇයට තිබූ පිළිගැනීම ඉහළ ගියේය. මෙය අපේ රටට වාසිසහගත විය. ඉන්පසු ආර්ථික වාසි ගණනාවක් අපට ලැබිණි. මැතිනියගේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ හා ස්වාධීන එකක් වූ අතර ඇයගේ රාජ්‍යතාන්ත්‍රිය කවුරුත් පිළිගත්හ. ඉන්දියව මෙන්ම චීනය සමඟ ද හොඳහිත රැකගත් මැතිනිය ඉන්දු – චීන යුද්ධය හා ඉන්දු – පාකිස්ථාන යුද්ධය නිවා දැමීමට මැදිහත් විය.

ඇතැම් විද්වතුන් පෙන්වා දෙන පරිදි නිදහසින් පසු ශ්‍රී ලංකාව හොඳම විදේශ ප්‍රතිපත්තීන් අනුගමනය කර ඇත්තේ මැතිනියගේ පාලන සමයේ ය. ඇයගේ විදේශ ප්‍රතිපත්තිය පැවතියේ නම්, ඉන්දියාව කිසිකලෙක ශ්‍රී ලංකාවට එරෙහිවන්නේ නැතැයි සමහරු තර්ක කරති. එය පිළිගත හැකි කාරණයකි. ලොව ප්‍රථම විධායක බලැති ජනාධිපතිනිය බවට පත්වන්නේ ද බණ්ඩාරනායක පවුලේ සාමාජිකාවකි. ඇය චන්ද්‍රිකාබණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. සිය පියා මෙන්ම සැමියා ඝාතනයට ලක්වීමෙන් පසු දේශපාලනයට ප්‍ර‍ෙව්ශවන චන්ද්‍රිකා මැතිනිය ජනප්‍රිය නායිකාවකි. ඇය කොටි අභියෝගයට අභීත ලෙස මුහුණදෙන්නේ පරිණත නායකයකු පරිද්දෙන්ය. කොටි සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්ව සිය ඇසක් අහිමි වුවද චන්ද්‍රිකා මැතිනිය සිය සටන අත්හළේ නැත.

ගෝලීය දේශපාලන ප්‍රවණතා පිළිබඳ නිරීක්ෂණය කරන ජගත් ආයතනවල වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ දේශපාලනයට ස්ත්‍රීන්ගේ දායකත්වය කිසිසේත්ම ප්‍රමාණවත් නැත. එය රටේ සංවර්ධනයට බාධාවකි.

කාන්තා නියෝජනය ප්‍රතිශතය

පාර්ලිමේන්තුව 5.8%

පළාත් සභා 0%

පළාත් පාලන 1.9%

ගෙවී ගිය දශක දෙක තුළ ආසියා පැසිෆික් කලාපයේ හා අප්‍රිකාවේ ඇතැම් රාජ්‍යයන්වල දේශපාලනය සඳහා වූ කාන්තා දායකත්වය 13%කින් පමණ වර්ධනය වී ඇති බව ඇතැම් ජගත් ආයතන පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ ස්ත්‍රී දායකත්වය 20%කින් වර්ධනය කර ගතහොත් සතුටුදායක තත්ත්වයක් ඇතිකර ගත හැකි බව එම ආයතනවල අදහස වෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දෙස ආපසු හැරී බැලුවහොත් එහි ප්‍රධාන දායකත්වය කාන්තාව සතුවේ. විදේශ විනිමය ගෙනෙන තේ කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, විදේශ රැකියා ක්ෂේත්‍රය නඩත්තු වන්නේ කාන්තාවගෙන්ය. පවුල්වල හා දරුවන්ගේ අනාගතය රැඳී ඇත්තේ ද පවුලේ බිරිය මතය. නැතහොත් අම්මා මතය. එහෙත් රටේ තීන්දු තීරණ ගැනීමේදී ඇයගේ සහභාගිත්වය බිංදුවකි. මේ වනාහි රටක් ආපස්සට ගෙන යන දේශපාලන ක්‍රියාදාමයකි. එය වෙනස් කිරීමට කාලය පැමිණ ඇතැයි කිවයුතුය.

අපේ සාම්ප්‍රදායික පසුගාමී සමාජය ශ්‍රී ලාංකේය කාන්තාවගේ ඉදිරි ගමන වළක්වා ඇතැයි කිවහැකිය. ඊට කාන්තාව ද වගකිව යුත්තේ ඔවුන්ගේ සංවිධානගත වීම හා ඉදිරිපත්වීම බොහෝ සෙයින්ම සීමා වී ඇති බැවින්ය.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT