Friday, May 9, 2025
Home » ජනපතිවරණයට පුත්තලමෙන් අපේක්ෂකයන් තිදෙනෙක්

ජනපතිවරණයට පුත්තලමෙන් අපේක්ෂකයන් තිදෙනෙක්

by sachintha
August 21, 2024 1:07 am 0 comment

මෙවර ජනාධිපතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ස්වාධීන අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත්ව සිටී.

මෙලෙස ඉදිරිපත්වී ඇත්තේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන වික්ටර් ඇන්තනි බියන්විල පෙරේරා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අයිදුරුස් මොහොමඩ් ඉල්ලීයාස් සහ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු වන අබුබකර් මොහොමදු ඉන්ෆාස් තිදෙනාය.

මොවුන් අතරින් වික්ටර් ඇන්තනී බියන්විල පෙරේරා මහතා යතුරු පැදිය ලකුණින් ඉදිරිපත්වී ඇති අතර, ඔහු හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස 1991දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට පිවිස ඇත. පසුව 1993දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරමින් වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය. 2000 සිට 2021 දක්වා වයඹ පළාත් සභාවේ ඇමැතිවරයකු ලෙසත්, 2010 සිට 2015 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසත් කටයුතු කර තිබේ. පසුව විවිධ දේශපාලන පක්ෂ සමඟ එක්වී තම දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිට නැවත මේ වසරේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත.

අයිදුර්ස් මොහොමඩ් ඉල්යාස් මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් පලවා හැරි මුස්ලිම් ජනයා සමඟ යාපනයේ සිට පුත්තලමට පැමිණ පුත්තලමේ පදිංචි වූවෙකි. 1980 දශකයේ සිට දේශපාලනයට අවතීර්ණවී ඇති ඉල්යාස් මහතා මෙවර ජනාධිපතිවරණයට ඉන්ජක්ෂන් සිලින්ජරය ලකුණින් තරග කරයි.

1988 වයඹ පළාත් සභාවට තරග කරමින් පළාත් සභා මන්ත්‍රී ධුරයක් හිමි කර ගත් ඔහු 1994දී පුත්තලමේ සිට එහි පැමිණි සරණාගත ඡන්ද 3300කට ආසන්න සංඛ්‍යාවක් ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනයට වරම් ලැබීය. 2010, 2015, 2019 කාලවලදී ජනාධිපතිවරණවලට ඉදිරිපත්වූ ඔහු මෙවර සිව් වන වතාවට නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත.

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන අබුබකර් මෙහොමදු ඉන්ෆාස් මහතා පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අනෙක් අපෙක්ෂකයාය.

ඉන්ෆාස් මහතා තේ කොළය ලකුණින් තරග බිමට පිවිස ඇති අතර, 2006දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට පිවිස ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. එහිදී ඔහු ඡන්ද 1850ක් ගෙන තිබුණි.

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරය දරා ඇති ඔහු 2018දී පළාත් පාලන මැතිවරණයෙන් ඔහු නියෝජනය කළ කොට්ඨාසයෙන් ඡන්ද 1400ක් ලබා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්ව තිබුණි. ධීවරය යාත්‍රා හිමිකරුවකු වන ඔහු ව්‍යාපාරිකයෙකි.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT