Friday, May 9, 2025
Home » ශ්‍රී ලංකා-එංගලන්ත පළමු ටෙස්ට් ගැටුම අදයි

ශ්‍රී ලංකා-එංගලන්ත පළමු ටෙස්ට් ගැටුම අදයි

-මිලාන්ට ටෙස්ට් වරම්

by sachintha
August 21, 2024 1:19 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට එංගලන්තයේ මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

වසර 1982දී පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයේ සිට මේ දක්වා දෙරට අතර පැවැත්වෙන 37 වැනි ටෙස්ට් තරගය වන මෙහි ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන්නේ ගතවූ වසර 10ක් තුළ එංගලන්තය පරාජය කිරීමට තවමත් නොහැකි වූ බැවිනි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ සිටින එංගලන්තය පරාජය කිරීමට සමත් වුවහොත් තවත් පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමේ අවස්ථාව උදාකර ගත හැකිය.

නිමා වූ ටෙස්ට් තරග 36කදී එංගලන්තය තරග 17ක් ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තරග 8කින් ජය ලබා තිබේ. තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව ඇත. එංගලන්ත – ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරගාවලිය 2021 ජනවාරියේ දී පැවති අතර, එම තරගාවලියේ දී 2-0ක් ලෙසින් එංගලන්ත ක්‍රීඩකයෝ ජයග්‍රහණය වාර්තා කළහ.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ප්‍රකාශයට පත් කළ අතර, වේග පන්දු යවන 28 හැවිරිදි මිලාන් රත්නායක අද ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා ගැනීමට නියමිතය. වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඔහු පළමු පෙළ තරග 40කදී කඩුලු 81ක් බිඳ දමා තිබේ.

ආබාධයකට ලක්ව සිටින බෙන් ස්ටෝක්ස් වෙනුවට එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔලී පෝප් වෙත පැවැරීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. හැරී බෲක් උප නායකයා ලෙස නම් කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක මැතිව් පොට්ස් පසුගිය වසරේ ජුනි මාසයෙන් පසු පළමු වතාවට නැවත කණ්ඩායමට පැමිණ සිටී. එංගලන්ත පිලෙන් මෑතකදී විශ්‍රාම ගිය ජේම්ස් ඇන්ඩර්සන්ගේ අඩුව පිරවීම පොට්ස්ගේ කාර්ය වී තිබේ.

ඇඟිල්ලේ ආබාධයකින් ඉවත්ව සිටින සැක් ක්‍රව්ලි වෙනුවට ඩෑන් ලෝරන්ස් ආරම්භක පිතිකරුගේ ස්ථානය පුරවා තිබේ.

ලෝකයේ ප්‍රමුඛතම පිතිකරුවකු වන ජෝ රූට්ගේ පැමිණීම කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කරයි. රූට්ගේ අත්දැකීම් සහ ස්ථාවරත්වය තීරණාත්මක වනු ඇති අතර, ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු 5000ක් ලබාගත් පළමු පිතිකරු බවට පත්වීමට තවත් ලකුණු 402ක් ඔහු පිටුපසින් සිටී.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වේගවත් ප්‍රහාරය හඳුන්වා දෙමින් බාස්බෝල් (Bazball) ආකෘතිය හඳුන්වා දුන් එංගලන්ත පිල මුල් ඕවර කිහිපයේ ශ්‍රී ලංකාව පීඩනයට පත් කිරීම සැලසුම වී තිබේ. එහෙත් ශ්‍රී ලංකා අන්තර්වාර පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසන්නේ එම ක්‍රමය යටපත් කිරීමට තම ක්‍රීඩකයන්ට හැකියාව ඇති හෙයින් එය අභියෝගයක් නොවන බවය.

“බොහෝ ක්‍රීඩකයන් දීර්ඝ ආකෘති තරගාවලියක් සඳහා ප්‍රථම වරට එංගලන්ත සංචාරයේ නිරත වන්නේ. මේ වගේ ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කිරීම ලේසියෙන් ලැබෙන අවස්ථාවක් නෙවෙයි. මෙහි ලකුණු ලබා ගැනීම අභියෝගාත්මකයි, තණතීරු පැතලි වුණත්, පන්දුව දෝලනය විය හැකියි. ඒ තත්ත්වයට හැඩගැහෙන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ” ජයසූරිය මහතා පැවසීය.

“පිතිකරුවන් හයක් හතක් ක්‍රීඩා කළොත් දස්කම් දක්වන්නේ දෙතුන් දෙනෙක් පමණයි. හොඳ ආරම්භයක් ලබා විශාල ඉනිමක් ක්‍රීඩා කළ යුතුයි. සෑම කෙනකුම ඔවුන්ගේ ස්වාභාවික ක්‍රීඩාව ක්‍රීඩා කළ යුතුයි” පුහුණුකරු පැවසීය. දෙරට අතර, දෙවැනි ටෙස්ට් තරගය මේ මස 29 වැනිදා ලෝඩ්ස්හිදී ආරම්භ වන අතර, තෙවැනි සහ අවසන් තරගය සැප්තැම්බර් 6 වැනිදා ඕවල් පිටියේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා පිල – ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක.

එංගලන්ත පිල – ඔලී පෝප් (නායක), ජෝ රූට්, හැරී බෲක් (උප නායක), ඩෑන් ලෝරන්ස්, බෙන් ඩකට්, ජේමි ස්මිත් (කඩුලු රකින්නා), ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, මැතිව් පොට්ස්, මාර්ක් වුඩ්, ෂොයිබ් බෂීර්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT