පන්දු යවන්නියන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් අයර්ලන්තය හමුවේ 3-0ක පූර්ණ එක්දින තරගාවලි පරාජයකින් බේරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.
ඒ දෙපිල අතර බෙල්ෆාස්ට්හිදී ඊයේ පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.
කෙසේ වෙතත් මේ තරගාවලියේ මුල් තරග දෙක ජය ගනිමින් වේලාසනින්ම දෙරට අතර පළමු වරට පැවති ද්වීපාර්ශ්වික එක්දින තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ සමත්ව තිබිණි.
ඊයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එම තීරණය සාර්ථක බව පෙන්වූ පන්දු යවන්නියෝ අයර්ලන්තයට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් ඉනිම ලකුණු 122කට සීමා කළහ. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දු 161ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.
මේ ජය සමඟ අයිසීසී කාන්තා ශූරතාවලියේ පියවරක් ඉහළට (4) යෑමට ද ශ්‍රී ලංකා පිලට හැකි විය.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු 9කට දැවී ගිය අතර, නායිකා චමරි අතපත්තු හතරේ පහර 10ක් සමඟ ලකුණු 48ක් රැස් කර සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 94දීය. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් රැස් කරමින් ජය තහවුරු කරද්දී කවිෂා දිල්හාරි නොදැවී ලකුණු 10ක් රැස් කර තිබිණි. පන්දු 56කට මුහුණ දුන් හර්ෂිතා හතරේ පහර 7ක් එල්ල කළාය. පන්දු යැවීමේදී ආවා
කැනින් සහ ෆ්‍රියා සාජන්ට් කඩුල්ල බැගින් දවා ගත්හ.
පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත ඉනිමේ ප්‍රබලම පිතිකාරිනියන් 5 දෙනකු ලකුණු 28ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු බළඇණිය සමත් වුවද පසු පෙළ පිතිකාරිනියෝ ඉනිම ලකුණු 120 සීමාවට රැගෙන ගියහ.
අංක 7 පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි ආර්ලින් කෙලී 6 වැනි කඩුල්ලට ලියා පෝල් සමඟින් එක් කළ ලකුණු 36 ඉනිමේ ඉහළම සබඳතාව වූ අතර, පන්දු 75කදී හතරේ පහර 6ක් සමඟ කෙලීගේ ලකුණු 35 ඉනිමේ ඉහළම ඉනිම වූවාය. ලෙයා ලකුණු 19ක්, ඇලිස් ටෙක්ටර් ලකුණු 17ක් සහ ෆ්‍රියා සාජන්ට් ලකුණු 16ක් ඉනිමට එක් කළහ.
ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර ඉනිමේ මුල් පන්දු දෙකෙන් කඩුලු 2ක් බිඳ දැමූ අචිනි කුලසූරිය ලකුණු 10 වෙද්දී අයර්ලන්තයට තෙවැනි කඩුල්ල අහිමි කළාය.
ඊයේ සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම් සටහන් කළ නායිකා චමරි අතපත්තු ලකුණු 15කට කඩුලු 3ක් සහ අචිනි කුලසූරිය ලකුණු 35කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, සචිනි නිසංසලා කඩුලු 2ක්, ඉනේෂි ප්‍රියදර්ශනි සහ අමා කාංචනා කඩුල්ල බැගින් දවා ගත්හ.
අයර්ලන්ත කාන්තා පිල – 122 (ඕවර 46.3) ආර්ලින් කෙලී 35, ලෙයා පෝල් 19, ඇලිස් ටෙක්ටර් 17, ෆ්‍රියා සාජන්ට් 16 (චමරි අතපත්තු 15/3, අචිනි කුලසූරිය 35/3, සචිනි නිසංසලා 35/2, ඉනේෂි ප්‍රියදර්ශනි 7/1, අමා කාංචනා 14/1)
ශ්‍රී ලංකා කාන්තා පිල – 123/2 (ඕවර 23.1) හර්ෂිතා සමරවික්‍රම නොදැවී 48, චමරි අතපත්තු 48, කවිෂා දිල්හාරි නොදැවී 10, විශ්මි ගුණරත්න 9 (ආවා කැනින් 14/1, ෆ්‍රියා සාජන්ට් 38/1).